සමගි ජනබල වේගයේ විශාලතම සන්ධානය අද අරඹනවා – එස්. එම්. මරික්කාර්

88

ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන නිර්මාණය කරන විශාලතම සන්ධානයේ පළමු අදියර අද (05දා) ආරම්භ කරන බවත්, එහිදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම සමග සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ගිවිසුම් ගතවීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර් මහතා මෙසේද පැවැසීය.

“ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව කාරණා ගණනාවක් පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරලා පැමිණි එකඟතාවක ප්‍රතිඵලයක් විදිහට තමයි මහචාර්ය ජී. එල්. පීරිස් ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය එකතු වෙන්නේ. එම සන්ධානය ගොඩනඟන්ගේ මැතිවරණය ජයග්‍රහනය කිරිමට පමණක් නෙවෙයි. රාජ්‍ය බලය ලබාගෙන කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නත් එම සන්ධානය හරහා කටයුතු කරනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වලා තිබුණා. නමුත් ඔහු කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් නිසා අධිකරණයේ පෙනී සිටින්නේ නෑ කියලා.

වැට් බද්ද සියය 18 දක්වා රජය වැඩි කළා. රුපියල් බිලියන 600 ක් බලාපොරොත්තුවෙන් තමයි රජය මෙලෙස බදු ප්‍රතිශතය වැඩි කළේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එකතු කරගෙන නැති මුදල බිලියන 1066 යි.

බිලියන 1066 එකතු කළානම් වැට් බද්ද වැඩි කිරිම හරහා වැඩිකළ බිලියන 600ත් ලැබෙනවා. තව අතිරේකව බිලියන 466 ක් ලැබෙනවා. එහෙම වුණානම් වැට් බද්ද සියයට 12 දක්වා අඩු කරන්න තිබුණා. එහෙම වුණොත් පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස්, ප්‍රවාහන ගාස්තු, බඩුමිල අඩු වෙනවා. ඒක කරන්න රජයට කිසිදු අවශ්‍යතාවයක් නෑ.

ජනතාව අනුභව කරන බී ලුණු, අර්තාපල් කිරිපිටි වලට බදු ගසමින් රටේ ජනතාව පීඩාවට පත්කරලා තිබෙනවා. නමුත් වරායට බී ලුණු එන්නේ රුපියල් 92ට. රේගුවෙන් බී ලූණු එළියට එනකොට කිලෝ එක 365 යි. වෙළඳපොලේ විකුණන්නේ රුපියල් 700ට. අර්තාපල් වරායට එන්නේ කිලෝඑක රුපියල් 110ට. රේගුවෙන් අර්තාපල් කිලෝඑක එළියට ඇවිත් වෙළඳපොලට යද්දි අර්තාපල් කිලෝ එක රුපියල් 840 ක් වෙනවා. මෙයින් රජය අය කරන බදු ප්‍රමාණය කොපමණද කියලා හොඳින් බලාගන්න පුළුවන්. රටේ සිටින කූඨ ව්‍යාපාරිකයන් හොයන ලාබයත් මෙයින් හොඳට දැක ගන්න පුලුවන්.

advertistmentadvertistment
advertistmentadvertistment