භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන තොරතුරු නොදීම හමුදාවට නොතිසි

183

එල්. ටී. ටී. ඊ. සංවිධානය හා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතර යුද්ධයේ අවසන් අදියරේදී යුද හමුදාවට භාරවූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබානොදීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සමක් පිළිබඳ කරුණු විමසීම සඳහා ලබන මාර්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (07දා) ශ්‍රී ලංකා යුද හමුදාවට නොතිසි නිකුත් කළේය.

පෙත්සම්කාර මාධ්‍යවේදී නිරෝෂ් කුමාර් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මහත්මිය කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා එම නියෝගය කළේය. පෙත්සම්කාර මාධ්‍යවේදියා 2019 වසරේ අප්‍රේල් මස තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එම තොරතුරු ඉල්ලා තිබූ අතර එම තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට පැමිණිලිකර තිබිණි.

එකී එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සම්බන්ධයෙන් හෝ ඔවුන් භාරගත් නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු යුද හමුදාව සතුව නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව දැනුම්දී ඇතැයි පවසමින් 2023 වසරේදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව තීන්දුවක් ලබාදී තිබුණි. එකී තීන්දුවට එරෙහිව මාධ්‍යවේදී නිරෝෂ් කුමාර් මහතා එම පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment