සමස්ත ප්‍රාථමික අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ගේනවා – අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

85

පෙර පාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම මගින් සමස්ත ප්‍රාථමික අධ්‍යාපනයම ජාත්‍යන්තර මට්ටමට ප්‍රමිතිගත කරනවා යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පෙර පාසල් වර්ග පහක පමණ ප්‍රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාසල් අධ්‍යාපනයට ප්‍රවේශවීම තුළ මතු වන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත් කරගැනීම සඳහා පෙර පාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කර ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති වගකීම් ප්‍රකාරව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් කෙටුම්පත් කර දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව එම ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ ව අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ පවත්වන ලද සමීක්ෂණයක් අනුව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙර පාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව පෙනී ගොස් ඇති බවයි. ඒ අනුව මෙම පෙර පාසල් ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ වැදගත්කම අවධාරණය කළ ඇමැතිවරයා එම ප්‍රතිපත්ති තීරණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව කාර්යක්ෂ්මවත් ඵලදායීවත් ක්‍රියාවට නැංවීම කෙරෙහි ද අවධානය යොමු කරන බව පැවසීය. එසේ ම ප්‍රාථමික අධ්‍යාපනයෙහි නිරත ගුරුවරුන් ද ඉතා විධිමත් ගුරු පුහුණුවක් ලබා ජාත්‍යන්තර මට්ටමට උචිත වන අන්දමින් දැනුමින් පමණක් නොව ආකල්ප හා කුසලතා සංවර්ධනයකින් ද පොහොසත් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය. ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර එකම ගුරු පුහුණු විශ්වවිද්‍යාලයක් මගින් ගුරුවරුන් උපාධිධාරීන් ලෙස පාසල් පද්ධතියට යොමු කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව 2028 වන විට නුපුහුණු හා උපාධියක් නොමැති කිසිදු ගුරුවරයකු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නොසිටිනු ඇති බවත් ඒ මහතාකීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment