සමිති 10ක් සටනේ රෝහල් වර්ජනයෙන් රෝගීහු අමාරුවේ

134

සෞඛ්‍ය වර්ජන දිග්ගැස්සෙයි තවත් වෘත්තීය සමිති අද සිට වර්ජනයේ

වෛද්‍යවරුන් සඳහා පමණක් ලබාදීමට නියමිත රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 10ක නියෝජිතයන් ඊයේ (10දා) ආරම්භ කර තිබූ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසකටම පැමිණි ජනතාව මහත් අපහසුතාවට පත් වූහ.

මෙම වැඩ වර්ජනය ඊයේ (10දා) පෙරවරු 8.00ට ආරම්භ වූ අතර එය හෙට (12දා) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

රෝගී ජනතාව පත්වන අපහසුතාවයන් සැලකිල්ලට ගෙන ළමා, පිළිකා, මාතෘ, වකුගඩු යන රෝහල්වලත්, මධ්‍යම ලේ බැංකුව සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල සේවක පිරිස් මෙම වැඩ වර්ජනයට සහභාගි නොවන බවත් ඒ මහතා කීය.

වැඩ වර්ජනයේ නිරත රෝහල්වල හදිසි අවස්ථා සඳහා අවශ්‍යතා පරිදි ස්වෙච්ඡා කාර්ය මණ්ඩලය යෙදවීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම කීය. වැඩ වර්ජනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, ඖෂධ සංයෝජක, තාක්‍ෂණවේදීන් ඇතුළු වෘත්තීන් 10ක පිරිස එක්ව සිටින බවද ඔහු කීය.

තම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් නොලැබුණ හොත් තවත් වෘත්තීය සමිති ඒකාබද්ධ කරගෙන ලබන සතිය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සාකච්ඡා කරමින් පවතින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

සෞඛ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලා සිටියේ රජය ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව සිටින බව ප්‍රකාශ කළ නිසා බවත්, ඒ ආකාරයෙන් ප්‍රකාශ කරන ආණ්ඩුව වෛද්‍යවරුන්ට රු.35,000ක දීමනා ලබාදීමට තීරණය කිරීම සෞඛ්‍ය සේවාව බෙදීමට ලක්කිරීමක් බවත් ඔහු කීය.

ඒ වගේම තමන්ගෙ හැන්දෙන් තමන්ගේ කට්ටියට බෙදාගත් ඇමැතිවරයා ලෙස වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා පත් නොවී සමස්ත සෞඛ්‍යයටම සාධාරණයක් කරනු ඇතැයි වෘත්තීය සමිති බලා සිටින බවද කුමුදේශ් මහතා කීය.

මේ අතර සෞඛ්‍ය සේවකයන් රුපියල් තිස්පන්දහසක දීමනාවක් ඉල්ලා සහ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අද (11 දා) පෙරවරු 6.00 සිට හෙට (12 දා) පෙරවරු 8.00 දක්වා වර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්‍ය සේවකයන්ට අපහාස කරන බවත් ඒ නිසා ඔහු මාරු කරන ලෙස ඉල්ලා සිටන බවත් වෘත්තීය සමිති කියයි.

ඒ අනුව පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කළමනාකරණ සහකාරවරුන්, සංවර්ධන නිලධාරීන්, උපස්ථායකවරුන්, රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම වැඩවර්ජනයට සහාය දක්වන බව ද එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

රුපියල් තිස්පන්දහසක දීමනාව ඉල්ලා මේ වනවිට පරිපූරක වෛද්‍ය සේවා කාර්ය මණ්ඩලය ද පෙරේදා (09 දා) සිට වැඩවර්ජනයක නිරතව සිටියි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment