වටගොඩ වතු යායේ සේවකයන් රැගත් බස් රථයක් තලවකැලේදී ප්‍රපාතයකට පෙරළෙයි

46

තලවකැලේ වටගොඩ සිට මඩකුඹුර වත්ත දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් ඊයේ (09 දා) සවස දුනුකේදෙණිය, කිරිඳිකැටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් 24 දෙනකු තුවාල ලබා ඇතැයි පූඩළුඔය පොලිසිය පවසයි.

අනතුරට පත්වන අවස්ථාවේ බස් රථයේ 26 දෙනකු ගමන් කරමින් සිට ඇති බවත්, තුවාල ලැබූවන් 21 දෙනකු ප්‍රතිකාර සඳහා කොත්මලේ ප්‍රාදේශීය රෝහලටත් තිදෙනකු මල්දෙණිය ප්‍රාදේශීය රෝහලටත් ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. කොත්මලේ රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන්ගෙන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොල ශික්‍ෂණ රෝහලට යොමුකොට ඇතැයි පොලිසිය පවසයි.

වටගොඩ වතුයායේ සේවයට පූඩළුඔය, වැවහේන ප්‍රදේශයේ පිරිසක් රැගෙන ගොස් වැඩ අවසන්ව ඔවුන් ආපසු නිවෙස් බලා රැගෙන ගිය බස් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.

අනතුරින් බස් රථයට දැඩි හානි සිදුව ඇත. මේ සම්බන්ධයෙන් පූඩළුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හැටන්,මස්කෙළිය හා නුවරඑළිය වාර්තාකරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment