සර්ව පාක්ෂික කැබිනෙට්ටුවක් හදන්න අගමැති පොහොට්ටුවෙන් දාන්න

496

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 9 දෙනෙක් ජනපතිට ලිපියක් ලියති

සෑම විරුද්ධ පක්‍ෂයක්ම නියෝජනය වන පරිදි බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැතිවරයකු යටතේ සර්ව පාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් ඉල්ලා ඇත.

ආණ්ඩු පක්‍ෂය ලෙස බහුතරය ආරක්‍ෂා වුවද, එය අහිමිවීමේ තර්ජනයක් ද පවතින බව කේ. පී. එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, කරුණාදාස කොඩිතුවක්ක, ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල, උදයකාන්ත ගුණතිලක යන පසුපෙළ මන්ත්‍රීවරු එමගින් කියා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති දේශපාලනික අස්ථාවරත්වය මත රාජ්‍යය අස්ථාවර වීමේ තර්ජනය හමුවේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් කණ්ඩායමක් වශයෙන් අපගේ අදහස් සහ යෝජනා ඔබතුමාගේ අවධානයට මෙසේ ඉදිරිපත් කර සිටිමු.

මෙම ලිපිය ඉදිරිපත් කරනු ලබන අප සියලු දෙනාම සියලුම අවස්ථාවල ඔබතුමා සහ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මූලිකත්වයෙහි තබාගෙන කටයුතු කළ පිරිසක් වන අතර, එකී ගෞරවය තවදුරටත් තබා ගනිමින් මෙම යෝජනා ඉදිරිපත් කරන බවත් කියා සිටිමු.

අප සමඟ අත්වැල් බැඳගත් පක්‍ෂ හා කණ්ඩායම් ඉදිරිපත් කළ මතයන් සහ සමාජය වෙතින් මතු වූ විරෝධතා ව්‍යාපාර යනාදී වශයෙන් උද්ගත වූ තත්ත්වයන්ට අප ලබා දුන්නේ ද අවතක්සේරුවකි.

මේ අවස්ථාවේ අපගේ අදහස වන්නේ ඇති වී ඇති මහජන අසහනයට පාදක වූ සැබෑ කාරණා අප විසින් නිසි ලෙස හඳුනාගෙන නොමැති බවයි. ඒවායේ දේශපාලනික, අන්තර්ජාතික, ආගමික, අන්තවාදී ආදී කියවීම් පැත්තකින් තැබූ කල සැබෑ ජනතා විරෝධය හඳුනා ගැනීමට අප තවමත් ක්‍රියා කොට නැති බව පෙනේ.

මෙම පවතින දේශපාලන අර්බුදය සබැඳිව පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට ක්‍රමවත් අඛණ්ඩ හා නිවැරැදි විසඳුම් ලබාදීම සඳහා පැහැදිලි යෝජනාවලියක් ඔබතුමා විසින් මහජනතාව වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් වන අපගේ යෝජනාවලියක් කඩිනමින් ඔබතුමා වෙත ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කර සිටිමු.

මේ අවස්ථාවේ අපගේ ප්‍රමුඛතම කාර්යය විය යුත්තේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ අර්බුද කළමනාකරණය කර ගැනීම සඳහා වන කඩිනම් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කිරීමයි.

මෙම අර්බුද උග්‍ර වීමට බලපෑ හේතු කිහිපයක්ම ඔබතුමා වෙත මතක් කරන්නට කැමැත්තෙමු.

ආණ්ඩු පක්‍ෂය වශයෙන් අප සමහර සංවේදී දේශපාලන හා ආර්ථික කරුණු සම්බන්ධයෙන් අනුගමනය කළේ අප පිළිබඳව වූ අධි තක්සේරුවකින් බව අපගේ හැඟීමයි.

ඉතිහාසයේ බොහෝ ආණ්ඩු සේම අප ආණ්ඩුව ද රටේ මූල්‍ය විනය පිරිහීම කළමනාකරණයේ වගකීම භාරගත යුතුය. එමගින් වත්මන් ආර්ථික අර්බුදය මතු වූ බව අප පිළිගත යුතුය. ඒ සඳහා රජයක් වශයෙන් නිසි විසඳුම්, නිසි කාල රාමුව තුළ ඉදිරිපත් නොකිරීමේ වරද අප තවදුරටත් දිගින් දිගටම කරමින් සිටින බව පෙනේ.

සමහර වැදගත් තීන්දු තීරණ ගැනීමේදී නායකත්වයන් අතර එකඟතාවක් තිබුණේ නැත. තීරණ ගැනීමේ ප්‍රමාදයත්, ජනතාවගේ ඉල්ලීම්වලට සංවේදී නොවීමත් ‘වියත්මඟ’ සංකල්පය යටතේ ඇති කළ බලාපොරොත්තු ඉටුකිරීමට ක්‍රියා නොකිරීමත් මත මෙම දේශපාලන හා ආර්ථික අර්බුදය උග්‍රවී ඇත.

මේ අවස්ථාවේ අපගේ යෝජනාවන් වන්නේ,

දේශපාලන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඉතා කඩිනමින් ගෙන ආ යුතු බවයි.

බරපතළ ආර්ථික පරිහානියකින් පීඩා විඳින අප සහෝදර පුරවැසියන් ඉන් මුදා ගැනීම සඳහා කඩිනමින් සාමූහික තීන්දු තීරණ ගත යුතු බවයි.

ආණ්ඩු පක්‍ෂය ලෙස බහුතරය ආරක්‍ෂා වීම සම්බන්ධයෙන් ආඩම්බර විය යුතු නමුත් බහුතරය අහිමි වීම සම්බන්ධයෙන් තර්ජනයක් තිබෙන බව ප්‍රායෝගිකව පිළිගත යුතු බවයි.

දේශපාලනික වශයෙන් අප සමඟ එක්ව සිටි බහුතරය නැවත එක් කොට ගෙන බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයකු යටතේ නිවැරදි ආර්ථික හා දේශපාලනික වැඩපිළිවෙළකට එකඟ වන සෑම විරුද්ධ පක්‍ෂයකම නියෝජනයන් සම්බන්ධ කොටගත් සර්ව පාක්‍ෂික නව කැබිනට් මණ්ඩලයක් පත්කොට විසඳුමක් ලබාදීම සඳහා කැපවිය යුතුය යන්න අපගේ අදහසයි.

කෙසේ නමුත් අප කණ්ඩායමක් ලෙස හැටනම ලක්‍ෂයේ ජනවරමට මුළුමනින්ම ගරු කරමින් ඔවුන් ද ආරක්‍ෂා කොට ගෙන රට ද ආරක්‍ෂා කර ගනිමින් අප විසින් ඔබතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනා වෙනුවෙන් මින් ඉදිරියට කණ්ඩායමක් වශයෙන් පාර්ලිමේන්තුව තුළ හෘද සාක්‍ෂියට එකඟව අවශ්‍ය ඕනෑම අභියෝගයකදී එක්සිත්ව කටයුතු කරන බවත් මෙයින් වැඩිදුරටත් දන්වා සිටිමු.

ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබතුමාගේ කඩිනම් අවධානය යොමුවනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment