සාක්ෂි පරස්පරයි ප්‍රින්ස් කොළම්ගේ නැගණිය කුඩු නඩුවෙන් නිදහස්

132

වැටලීම් භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා හා විත්තිකාරිය පරීක්‍ෂා කළේ යැයි කියන කාන්තා පොලිස් කොස්තාපල්වරිය අධිකරණය හමුවේදී ලබාදුන් සාක්ෂිවල පැවැති බලවත් පරස්පරතා නිසා හෙරොයින් ග්‍රෑම් 43.150 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකාරිය වූ ප්‍රබල පාතාල කල්ලි නායකයකු යැයි කියන ප්‍රින්ස් කොලම් නැමැත්තාගේ නැගණිය විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (01දා) නියෝග කළේය.

රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා රජයේ නිලධාරීන් අධිකරණයට හා රටේ ජනතාවට සත්‍ය පැවසිය යුතු බවත් තරුණ පොලිස් නිලධාරිනියක එලෙස ගල් පැලෙන බොරු අධිකරණය හමුවේ පවසන්නේ නම් වැඩිහිටි නිලධාරිනියක වූ පසු කුමන ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ කළ හැකි දැයි අධිකරණයට සිතාගත හැකි බවත් කියමින් සාක්ෂිකාර පොලිස් කොල්තාපල්වරියට තරයේ අවවාද කළ විනිසුරුවරයා හේරත් මොහොට්ටිගේ සමන්ති ප්‍රියදර්ශනී නමැති එම විත්තිකාරිය නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කළේය.

තම අධිකරණයේ එම නියෝගය පොලිස්පතිවරයාගේ හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවධානය සඳහා වහා යොමු කරන ලෙසටද විනිසුරුවරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය. කොළඹ මධ්‍යම කොට්ඨාශයේ නිලධාරීන් එම වැටලීම සිදුකර ඇත්තේ 2019.12.21 වැනිදා දිවා කාලයේදී බව වැටලීම සිදුකළ පොලිස් පරීක්‍ෂකවරයා ලබාදුන් සාක්ෂිය හා අනෙකුත් සටහන් අනුව පැහැදිළිව පෙනී යන නමුත් තමන් මෙම විත්තිකාරිය පරීක්‍ෂාකොට ඈ හැඳ සිටි ඇඳුමේ සාක්කුවක තිබී මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබුවේ අලුයම කාලයේ බවට කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්තව සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරිය රජයේ අධිනීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදෙමින් හා අධිකරණය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවාය.

නීතිඥ පාතිමා ජුනයිඩීන් මහත්මිය සහ නීතිඥ ප්‍රභාත් හේරත් මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment