සිතමු…. අර්බුදයෙන් ගොඩ ඒමට කෙටි මං නොව, දුර දැක්ම අවශ්‍යයි

142

අපේ ජීවිත කාලය තුළ අප කිසි දිනෙක මුහුණ නොදුන් තරමේ ආර්ථික අර්බුදයකට අපේ සමාජය අද මුහුණ දෙන්නට පටන්ගෙන ඇත.

අප අද මුහුණ දී ඇති ආර්ථික යථාර්ථයන් අතීතයේ දී කෙටිදුර බලමින් ගත් ක‍්‍රියාමාර්ගයන්හි සහ ආත්මලාභය මෙන්ම පටු දේශපාලනික වාසි සඳහා අනුගමනය කළ ක‍්‍රියාදාමයන්හි විපාකයන්ය.

දැන් තවදුරටත් අතීතයේ සිදු කළ වැරදි ගැන එකිනෙකාට ඇඟිල්ල දික්කර ගනිමින් දොස් පවරා ගැනීම් සඳහා කාලය නාස්තිකර ගැන්මකට වඩා යථාර්ථයන් තේරුම් ගනිමින්, වර්තමානය සමනය කර ගනිමින් අනාගතය උදෙසා නිවැරදි ගමන් මාර්ගයකට ප‍්‍රවේශ විය යුතුව තිබේ.

අද අපේ රට මුහුණ දී ඇති මේ ආර්ථික අගාධයට මූල හේතුව කොවිඩ් වසංගතය ලෙසින් දැක්වීම මිථ්‍යාවකි. කොවිඩ් වසංගතය හා බැදි අභියෝගයන් හේතුවෙන් අපේ ආර්ථිකයේ දුර්වලතාවන් පැහැදිලිව දැකිය හැකි අයුරින් මතුවී පෙනීමයි, සිදුව ඇත්තේ.

මූල්‍ය විනය නොතිබීම, රටේ වර්ධන වේගය අඩු මට්ටමක තිබීම, ඵලදායී නොවන සහ ලබාගන්නාවූ ණය ගෙවීම සඳහා ආදායමක් නොලබන සුදු අලි ව්‍යාපෘතීන් සඳහා අප ලබා ගෙන ඇති ණය කන්දරාව මෙන්ම අපනයන සංයුතිය විවිධාංගීකරණය නොවීම ආදී ලෙසින් මෙහි මූල හේතූන් අපට පෙළගැස්වීමක් කළ හැක. ඉවක් බවක් නොමැතිව ජනතා මුදල් අනවශ්‍ය ලෙසින් වියදම් කිරීම් නිසා රටට සිදුව ඇත්තේ දිගුකාලීන විපතකි. මේවා පිළිබඳව සිදුකෙරෙන ප‍්‍රශ්න කිරීම් කාලයත් සමග ගනුදෙනුකාර දේශපාලනය විසින් යටපත්කර තිබීම ගැන සිදුවන කථාබහ රහසක් නොවේ.

මේ සියලූ කරුණු කාරණා හේතුකොට ගෙන අද රටට අති විශාල බරක් සහ වේදනාවක් දරන්නට සිදුව ඇත. අතීතයේ සිදුකළ වැරදි යළි සිදු නොවීමට සහ එම සිදුවීම්වලින් පාඩම් උගත යුතුය යන සද් අරමුණින් මිසෙක, කිසිදු පාර්ශ්වයකට දේශපාලනික ප‍්‍රහාරයක් සිදු කිරීම මේ සදහන තුළින් අදහස් නොකෙරේ.

අද මුළු ලොවම වෙනස් වී ඇත. පැරණි න්‍යාය ධර්මයන්හි රැුඳී සිටීම වෙනුවට කාලීන අභියෝග වටහා ගනිමින් අවශ්‍ය වෙනස්කම් කරගනිමින් සිටින රටවල් ආර්ථික අතින් පසුගාමී තත්ත්වයෙන් මිදී ඉදිරියට යමින් සිටීම දැකිය හැකිව තිබේ. එක් පැත්තකින් මාක්ස්වාදී කඳවුර නියෝජනය කරන චීනය, වියට්නාමය මෙන්ම ඒ කඳවුරට බරව සිටි ඉන්දියාව වැනි රටවල් තම ගමන් මාර්ගයේ වෙනස්කම් ඇතිකරගෙන සිටී. අනෙක් පැත්තෙන් අන්ත දක්ෂිණාංශික ධනවාදී කඳවුරේ ගමන් මගට වෙනස් වූ සමාජ සාධාරණත්වය පිළිබඳ අංශයට වැඩි නැඹුරුවක් ඇති ප‍්‍රගතශීලී ගමන් මගක ස්කැන්ඩිනේවියානු රටවල් සහ ජර්මනිය වැනි රටවල් ප‍්‍රවේශ වී සිටීම පෙනෙන්නට ඇත.

ශක්තිමත් ආර්ථිකයක් පිළිබඳව අපේ ඉදිරි පරම්පරාවට ඇති සිහිනය සැබෑ කරදීමට නම් අප නිවැරදි මගට ප‍්‍රවේශ විය යුතුව තිබේ. අධිපතිවාදී පාලනයකදී නම් ජනතාවගේ දුක, වේදනාව ගැන සංවේදී බවක් නොමැතිව තීරණ ගැනීම් සිදුකළ හැක. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තම දේශපාලන පැවැත්ම සඳහා පාලකයන්ට කාලයෙන් කාලයට ජනතාව අතරට යෑම සිදුකළ යුතු වේ. එම නිසා අනිවාර්යෙන්ම ජනතාවට සංවේදී වීම අවශ්‍යය.

ශක්තිමත් ආර්ථිකයක ඉලක්කයට ළඟාවීමට ගත යුතු තීන්දු තීරණ සහ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ට සංවේදී වීම යන මේ අන්ත දෙක තුලනය කරගනිමින් ගමන යා යුතුව ඇත.

කොවිඩ් වසංගතය වැනි විවිධ අනපේක්ෂිත තත්ත්වයනට රටක ආර්ථිකයකට විටින් විට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැක. එවැනි කම්පනයන්ට මුහුණ දිය හැකි ශක්තිමත්, ස්ථාවර ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පත්කර ගැන්ම අප ඉදිරියේ ඇති අභියෝගයයි.

මේ සඳහා අපේ ආර්ථිකයේ සියලූ පාර්ශ්වකරුවන්ගේ අවබෝධයෙන් යුතු සාධාරණ දායකත්වයක් ලබාදීම අවශ්‍ය වේ. මුහුණ දී ඇති අගාධයෙන් ගොඩ ඒමට සියලූ පාර්ශ්වයන් තුළ දැඩි අදිටනක් තිබිය යුතු වේ. අදිටන සමගින් අප සමාජයේ සියලූ කොටස්වල ආකල්පවල සහ වටිනාකම්වල යහපත් වෙනසක් සඳහා මුල පිරීමද සිදුවිය යුතුය.

”ජනතාව පළමුව” ලෙසින් සිතන සංවේදී වූත්, ” ප‍්‍රගතශීලී” වූත් ගමනකට රට අප‍්‍රමාදව ප‍්‍රවේශ විය යුතුව තිබේ. සිතන්න.

advertistmentadvertistment
advertistmentadvertistment