සිසුවාට වේවැල් පහර දුන් විදුහල්පතිනිය ලක්ෂ 10ක් වන්දි ගෙවයි

1304

වයස අවුරුදු 15ක් වූ බාලවයස්කාර දරුවකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම, අඩන්තේට්ටම් කිරීම, හිංසා කිරීම හා නොසලකා හැරීම යන චෝදනාවලට වරද පිළිගත් විදුහල්පතිනියකට කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එන්. අබේරත්න මහතා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් එම දරුවාට ගෙවන ලෙස නියම කළ අතර විදුහල්පතිනිය ඊයේ (14දා) විනිසුරුවරයා ඉදිරියේ එම මුදල ගෙවා දැමුවාය.

ඊට අමතරව රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500ක් ගෙවන ලෙසත්, නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම් මාස තුනක සුළු වැඩ සහිත සිර දඬුවමක් ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 24 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ දොඩන්ගොඩ නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනිය වූ සරෝජිනී නිර්මලා කොතලාවල නම්වූ අයටය.

2013 ජූනි මස 26 හෝ ඊට ආසන්න දිනයකදී දොඩන්ගොඩ දී එවකට බාලවයස්කාර දරුවකු වූ තොටවත්ත බණ්ඩාරගේ ඉෂාර ජගත් නම් වූ සිසුවා කෲරත්වයට පත් කරන ලදැයි කියමින් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

දොඩන්ගොඩ පොලිසිය මගින් එම වසරේ පොසොන් උත්සවය නිමිතිකොට තුඩුගල හංදියේ පහන් කූඩු තරගයක් හා ප්‍රදර්ශනයක් පවත්වා ඇති බවත් දොඩන්ගොඩ නවෝද්‍යා විද්‍යාලය නියෝජනය කරමින් මෙම සිසුවා ඉදිරිපත් කළ බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

එම වේදිකාවේදී සිසුවා මුදල් චෙක්පත හා සහතික පත්‍රය ලබා ගත් පසු එය විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් කළ නිර්මාණයක් කියමින් විදුහල්පතිනිය තෑගි එම ස්ථානයේදීම ලබාගෙන තිබුණි.

ඉන්පසු එම ජයග්‍රාහී තිළිණ ලබා ගැනීමට ඇයට ඉඩ නුදුන් බව පවසමින් විදුහල්පතිනිය සිසුවාට පාසලේදී ප්‍රසිද්ධියේ පහර දී ඇති බවත්, සෙසු ගුරු මහත්ම මහත්මීන් පවා සිසුවා නොසලකා හැර ඇති බවත් කැමැත්තෙන් සිටි තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළ කිරීමට සිසුවාට නොහැකි වූ බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

මෙය දඩ හා සිර දඬුවම් නියම කළ හැකි වරදක් වුවද, චූදිත විදුහල්පතිනිය 2018 වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ හොඳම විදුහල්පතිනිය වීම, 2016 හා 2017 වසරවලදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නංවා ගැනීමට දායකවීම හා වසර 29 ක සේවා කාලයක දී සිදු කර ඇති වැඩදායක කරුණු හා මින් ඉදිරියට මෙවන් වැරදි සිදු නොකරන බවට වූ පොරොන්දුව සලකා බලා ඇයට ලිහිල් දඬුවමක් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

රජයේ අධිනීතිඥ මල්ෂා මඩවලගම මහත්මිය මෙහිදී පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ කනිෂ්ක වන්නිඅච්චි මහතා විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment