සුදු මැස්සා මර්දනයට පරපෝෂිතයෙක්

209

දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සාගේ හානිය වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස ස්වභාවිකව වර්ධනය වන පරපෝෂිතයකු හඳුන්වාදී ඇත. එන්කාසියා ග්වාඩිලෝපා (Encarsia guadeloupae) නමැති මෙම පරපෝෂිතයා හඳුන්වාදීම කෘෂිකර්ම අමාත්‍යංශයේ දී ඊයේ (27 දා) සිදු විය.

2019 සිට මෙරට පොල් වගාවටත් ඉන් අනතුරුව පලතුරු හා එළවළු වගාවටත් බරපතළ ලෙස සුදු මැස්සාගේ හානිය සිදුවූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩ සටහනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීහු මෙන්ම පොල් පර්යේෂණායතනයේ නිලධාරිහු ද සහභාගි වූහ.

සුදු මැස්සා පාලනය සඳහා හඳුන්වා දී තිබෙන නව පරපෝෂිතයා හඳුනාගනු ලැබ තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ අතිරේක අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා විසිනි. මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාර තුළ ගුණනය කිරීම මගින් නොමිලයේම ගොවීන්ට ලබාදීමට කටයුතු සූදානම් කර ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම පරපෝෂිතයා ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණ නිසා පොල් වගාව තුළ පැවැති සුදුමැස්සන් ගහනය සියයට 95 සිට සියයට 05 දක්වා අවම වූ බව ද අනාවරණය විය. මෙහිදී අදහස් පළ කළ කීට විද්‍යාඥ අතිරේක අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා සුදු මැස්සා පාලනය සඳහා ඉතා හොඳම විසඳුම මෙම පරපෝෂිතයා මගින් ලැබී ඇතැයි අවධාරණය කළේය.

පොල් පර්යේෂණායතනයේ නිලධාරීන් මෙන්ම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ද අදහස් පළ කළාය.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment