සිසුවියට අසභ්‍ය ඡායාරූප යැවූ සැකකාර නියෝජ්‍ය විදුහල්පති රිමාන්ඩ්

451

මීට පෙරත් ඔය වගේම ජරා වැඩක් කරලා

එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක ලිංගිකව පොළඹවා ගැනීම සඳහා දිගින් දිගටම ඇයගේ ජංගම දුරකථනයට අසභ්‍ය ඡායාරූප සහ වට්ස්ඇප් පණිවිඩ යොමු කළ අදාළ විදුහලේ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඊයේ 16 අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙසේ බන්ධනාගාරගත කෙරුණේ අත්තනගල්ල ඌරාපොල ප්‍රදේශයේ පදිංචි අයෙකි. සැකකරු එම පාසලේ විනය භාර ගුරුවරයා ද වෙයි.

අදාළ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා සිය ජංගම දුරකථනයෙන් තමාගේ රහස් ප්‍රදේශ පවා ඡායාරූප ගෙන වට්ස්ඇප් මාර්ගයෙන් සිසුවියට යවා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා මීට පෙරද 11 ශ්‍රේණියේ සිසුවියකට මෙවැනිම ආකාරයේ වට්ස්ඇප් පණිවිඩ යවා තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා නිවාරණ අපයෝජන කාර්යාංශයට ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විනීෂියා ප්‍රේමරත්න මහත්මියගේ දැනුම්දීමක් මත අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.වයි. නාලක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත්හ.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment