සෝබන නවතා නත්තල සමරමු

110

සැබෑ නත්තල දුගියා බත් කන දා යැයි ගරු මර්සිලිනු ජයකොඩි පියතුමා එදා පවසා තිබිණි.

පසුගිය සතියේ පුවත්පත්වල පළවූ පරිදි මෙවර නත්තල් උත්සවය සඳහා යොදවන මුදල් දුප්පත් ජනතාවට උදව් කිරීමට යොදවන ලෙස අති උතුම් කාදිනල් රංජිත් මැල්කම් පියතුමාගේ ඉල්ලීම කෙරෙහි ද ලාංකීය ජනතාවගේ ප්‍රසාදය හා ගෞරවයට බඳුන් වී ඇත. ඇත්ත වශයෙන්ම එය කාලීන යෝජනාවක් බව සෑම දෙනාගේ මතයයි. අද තුන්වේල තබා එක වේලක්වත් කෑමට විදියක් නොමැතිව සිටින බොහෝ දෙනාට පිහිටක් විය හැකි නම් එය එම ආගමික නායකයන්ට පවා පින් සිදුවන යහපත් ක්‍රියාවකි. සෑම ආගමකින්ම උගන්වන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්න; හැම දෙනාටම මෙත් වඩන්න; දුප්පතුන්ට සංග්‍රහ කරන්න නම්, අප හැම විටම මුල් තැන දිය යුත්තේ එයටයි.

එහෙත් අද බලලෝබයෙන් මත් වූ ඇතැමුන්ට රටේ වර්තමාන තත්ත්වය ගැන හරි වැටහීමක් නැති බව පෙනෙන්නට තිබෙන කරුණකි. උඩුමහල්තලවල සිට බැලුවාට, නෙළුම් කුළුණේ උඩ සිට බැලුවාට රටේ නියම තත්ත්වය ගැන වැටහීමක් ලබාගත නොහැකිය. ඒ සඳහා ගම්වල ඇවිද දුප්පත් ජනතාව හමුවිය යුතුය.

ගමේ එක්තරා පොදු කටයුත්තක් සඳහා ආධාර එකතු කිරීමට ගිය අයකු පැවසුවේ ගමේ වැඩි දෙනකුගෙන් ලැබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොවන බවයි. ඇතැමෙක් පවසා ඇත්තේ “මහත්තයෝ පුතාට ඉස්කෝලෙ ගෙන යෑමට පෑනක් අරන් දෙන්න විදියක් නැතිවයි මේ කල්පනා කරන්නෙ” කියායි. ඒ අතර අභ්‍යාස පොතක් අරන්දීමට මුදල් නැතිව ළතවෙන අය දවාලටවත් දරුවන්ට කන්න දෙන්න විදියක් නොමැතිව ළතවෙන අය ආදී නොයෙකුත් ප්‍රශ්න ඇති අය හමුවී ඇති බවයි.

අද දෙදෙනාම රැකියාව කරන පවුලක වුවත් රැකියා ස්ථානයට යෑමට ගමන් වියදම ගියවිට ඉතිරි වන්නේ කීයද? දරුවන්ගේ පාසල් උපකරණ ඇඳුම් ආදියට වැයකළ විට ඉතිරි වන්නේ කීයද? දෙදෙනාම රැකියාව කරන පවුල් එසේ නම් කුලී වැඩෙන් එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නා පවුල් ගැන කියනුම කවරේද?

මේවාට පිළියම් යෙදීමට සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම හඳුනන පිරිසක් විය යුතුය. එමනිසා අනවශ්‍ය තරගකාරීත්වය හා බොරු සෝබන නවත්වා පීඩා විඳින ජනතාවට උදව් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත්වී ඇත. එමනිසා එම කාදිනල් පියතුමාගේ කාලීන අදහසට මහජනතාවගේ ප්‍රණාමය පුදකර සිටිමු.

අරිරුවන් ගාල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment