සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංග විවාදය අද සිට අනිද්දා තෙක් ගන්න – ජනපති

70

පළමුව ජන වරමකට ඉඩ දෙන්න – විපක්‍ෂ නායක
ඡන්ද නොතියා ඔබතුමා කිරීමට යන බලය බෙදීම මොකක්ද? – ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ)
රටේ අලුත් ප්‍රශ්න හදන්න එපා – මනෝ ගනේෂන් (සජබ)

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් භාර දී ඇති විශ්වාශභංග යෝජනාව විවාදයට ගැනීම අද, හෙට සහ අනිද්දා යන දින තුන ලබා දීමට සූදානම් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක වෙත පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) කීය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ඊයේ සිදු කරන ලද විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වහාම මැතිවරණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාට පැවසූ අවස්ථාවේදී ජනාධිපති මේ බව සඳහන් කළේය. මැතිවරණ පැවැත්වීමට ප්‍රථම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කොට නීති සම්මත කළ යුතු බවත් ඉන් අනතුරුව මැතිවරණ පැවැත් විය හැකි යැයි ද කී ජනාධිපති පැවසීය. ඔහුගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව පක්ෂ නායකයන් කිහිප දෙනෙකු ද අදහස් දැක්වූ අතර ඒවාට ජනාධිපති වික්‍රමසිංහ මහතා පිළිතුරු සැපයීය. ඒවා පහත පරිදිය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – සර්ව පාක්‍ෂික අමුළුවට අපි යෝජනා කළා රජයේ පාර්ශ්වයේ යෝජනා ඉදිරිපත් කරන ලෙසට. අද යම්තාක් දුරකට යෝජනා ප්‍රමාණයක්, අදහස් හා කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.

රජයක් පිහිටුවිය යුත්තේ ජනතා පරමාධිපත්‍යය තුළයි. 13 සංශෝධනය ගැන සාකච්ඡා කරන විට කවුරු සඳහා ද ක්‍රියාත්මක කළ යුත්තේ කියා හිතන්න. පළාත් පාලන, පළාත් සභා එකක්වත් නෑ.පළාත් පාලන ක්ෂේත්‍රයත්, පළාත් සභාවත් දේශපාලනයේ ඉහළට එන තවාන්. අද ඒ තවාන් සියල්ල අක්‍රීය වෙලා. ඡන්දවලට ඉඩක් නෑ. ඡන්ද භීතිකාවක් හැදිලා. ජනවරමකට ඉඩ දිය යුතුයි. අද පළාත් සභාත් පළාත් පාලන ආයතනත් විධායකය යටතේයි තියෙන්නේ. පළාත් සභා ක්ෂේත්‍රයේ ජනවරමකට ඉඩක් දෙන්න. ඒ සඳහා අපටත් අනුමැතිය දෙන්න. ජනාධිපති පත්වූයේ පාර්ලිමේන්තුවේ 134 ක ඡන්දයෙන්. ඇමැති මණ්ඩලයක් ඉන්නවා. බහුතර බලයක් තියෙනවා. ඒ නිසා ජනවරමකට ඉඩදිය හැකියි. විපක්‍ෂයේ සිටින කාලයේදී ජනපති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල හඬක් නැගුවා. ඒ නඟපු හඬ අගමැති හෝ ජනාධිපති වූ විට වෙනස් වෙන්න බෑ. ප්‍රතිපත්තිගරුක විය යුතුයි. ජන පීඩක ක්‍රියාවලින් ඉවත් වෙන්න. රාජ්‍ය ත්‍රස්තවාදයෙන් රාජ්‍ය මර්දනයෙන් ඉවත් වෙන්න. ඔබ ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව අපි ප්‍රගතිශීලීව හිතනවා. ඒ මොනවා කරන්නත් පෙර තවාන් ටික මැරෙන්න දෙන්න එපා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – මම කිව්වා ව්‍යවස්ථා සංශෝධනයයි නීති සකස් කිරීමයි අවසන් වූ පසුව ඡන්දය තියනවා කියලා. මම නැහැ කිව්වෙ නෑ. මම ව්‍යවස්ථා සංශෝධනය දෙන්නම්. එය සම්මත කරන්න. නීති ටික සම්මත කරන්න. ඒ අනුව ඡන්දය තියන්නම්. මට කිසිම ප්‍රශ්නයක් නෑ.

විපක්‍ෂ නායක – ඔබ හොඳින් දන්නවා බිස්නස් කොමිටි එකේ තීරණ ගත් පසු මැද හරියේදී සෞඛ්‍ය ඇමැතිගේ විශ්වාස භංගය ගන්න බෑ. ඡන්දය තියන්න අවසානයේදී ලෑස්තියි කිව්වා. අපට මුලින්ම ජනවරමක් අවශ්‍යයි. අපි විශ්වාස භංගයෙන් පැනලා ගිහින් නෑ. එක දවසක් නොව දවස් 3 ක් අවශ්‍යයි. ඉක්මනින් විවාද කරන්න අවශ්‍ය නෑ.

ජනාධිපති – හෙට අනිද්දා, සෙනසුරාදා අපි විශ්වාසභංගය තියනවා. එයට අපි ලෑස්තියි.

කොාළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා – උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රශ්නය, ඒ පළාත්වල දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරු සමග කතා කරන බව ජනපති කිව්වා. ඒ පළාත් දෙකේ සිංහල මන්ත්‍රීවරුන්ට කියන්න තරම් ප්‍රශ්න නැද්ද? තිස්ස විහාරය, කුරුන්දි විහාරයේ ප්‍රශ්න තියෙනවා. ජාතිකත්වයට බෙදන්නේ නැතිව සිංහල, දෙමළ, මුස්ලිම් උතුරු නැගෙනහිර හැම මන්ත්‍රී කෙනෙක් සමගම සාකච්ඡා කරන්න. ජන කොටසකට දෙකකට උතුර නැගෙනහිර ප්‍රශ්න සීමා කරන්න එපා. හැමෝටම ප්‍රශ්න තියෙනවා.

ජනාධිපති – මේ සාකච්ඡාව ආරම්භ වූයේ දෙමළ, මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම් සමගයි. අපි සිංහල අයගේ ප්‍රශ්න ගැනත් සාකච්ඡා කරමු.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා – ශ්‍රීලනිපය විදිහට අපිත් ජනාධිපතිතුමා සමග මේ සම්බන්ධයෙන් කතා කළා. අපිට උදව් කරන්න පුළුවන් දේවල්වලට අපි උදව් කරනවා. නමුත් ප්‍රශ්නය ජනාධිපතිතුමනි, ඔබතුමා මේ යෝජනා ගෙන එන විට ආණ්ඩුවේ සිටින ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණේ ලේකම්වරයා එදා කෙලින්ම කිව්වා මේ ගැන ඔබතුමාට කිසි බලයක් නැහැ. ඒ නිසා ඒ ගැන කතා කරන්න එපා කියලා.

මේක ඔබතුමාගේ පෞද්ගලික යෝජනාවලියක්ද? නැත්නම් ආණ්ඩුවේ බෙදීමක්ද? ඔබතුමා විවිධ පනත් ගේනවා. එම පනත් ගැන අපි සාකච්ඡා කරන විට අපි සහය දෙන්න කතා කරන කොට පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා එහෙම කියනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් මං අහන්න කැමතියි. 13 සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ මතය කුමක්ද කියලා. මේ යෝජනා ගෙන එන විට ඔබේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරුද්ධ වුනොත් ආණ්ඩුවේ මතයක් විදිහට නැතුව වෙන කාරණයක් මතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි අහනවා මේ ගැන ආණ්ඩුවේ මතය මොකක්ද කියලා. ඒ වගේම මේ ගැන උතුරු නැගෙනහිර සිටින සිංහල ජනතාවගේ අදහස් ටිකත් ගත යුතුයි. ඒ නිසා එක මතයක ඉදගෙන ඔබතුමාලා මේ යෝජනා ගේන්න. එතකොට අපිට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න පුළුවන්.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා – ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා ගැන සලකා බලනවා කියලා විපක්ෂ නායකතුමත් කිව්වා. අපි ඒක බලලා හොඳ නම් හොඳයි, නරක නම් නරකයි කියලා අපි දන්වන්නම්. මේ ගිවිසුම අත්සන් කළේ අපි නෙමෙයි. ඔබතුමාලයි. එදා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව කාලේ රජීව් ගාන්ධි මැතිතුමා ගෙන්වලා මේ ගිවිසුම අත්සන් කළා. අපි පිටකොටුවේ බෝගහ ළඟ මේකට විරුද්ධව උද්ඝෝෂණ කළා. මහින්ද රාජපක්ෂ මහතා දන්නවා.

එදා හිටපු ගොඩක් අය දැන් මැරිලා. අපිට කඳුළු ගෑස් ගැහුවා. කිරිඇල්ල මහත්තයත් එදා අපි එක්ක හිටියේ.

ඒ වගේම හම්බන්තොට වරාය ගැන උද්ඝෝෂණය කරනකොටත් අපිට ගැහුවා. අපි ඉපදිලා කියෙන්නෙම ගුටි කන්න. අරගලය කාලෙත් අපිට ගැහුවා.

අපි ටික දවසකින් මැරිලා යයි. ගරු ජනාධිපතිතුමනි, ඒ නිසා මේ ප්‍රශ්නය ඉවර කරන්න ඔබතුමා ඉන්න කාලෙම. ඒකට හේතුව අපේ නැත්නම් අපේ දරු මුණුබුරන්ටත් ඉදිරියේදී ගුටි කන්න වෙයි ඉදිරියේදී. ඒක කරන්න ඉඩ තියන්න එපා. නැත්නම් ඔබතුමාට යහතින් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. මැරුණට පස්සේ ඉන්න හම්බ වෙන්නෙත් නැහැ. ඒ නිසා කොහොම හරි මේක විසඳන්න කියලා මං ඉල්ලනවා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා – ගරු කතානායකතුමනී, ඔබතුමත් පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයෙක් විදියට කටයතු කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මෙතැන ඉන්න අපි දෙන්නෙකුත් ප්‍රධාන ඇමතිවරු විදියට කටයුතු කළා. අදටත් ඉන්නේ එතුමාගේ නායකත්වය යටතේ අපි පක්ෂයක් හැටියටයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හැමදාම කිව්ව දෙයක් තමයි ඒකීය රාජ්‍ය තුළ බලය බෙදිය යුතු යැයි ස්ථාවරයේ ඉඳගෙන පළාත් සභාවල මහ ඇමතිවරුන්ට කැබිනට් එකට ඇවිල්ල වාඩි වෙලා කටයුතු කරන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නා. පොහොට්ටුවේ බෙදීමක් ගැන කියන්න හැදුවත් අපි බලය බෙදීම සඳහා එකඟතාවය දීපු 13+ එක ගැන කතා කරපු නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා.

(පාර්ලිමේන්තුවේ තුළ කෑ ගෝ ගසයි.)

මේක හංගන්න දෙයක් නෙමෙයි. ඒ නිසා අපි සාධනීය කරුණු කාරණා පිළිබඳව අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාර්ව පාක්ෂික සමුළුවට සම්බන්ධ වෙලා අපේ මතය කියන්න පුළුවන්කමක් අපිට තියෙනවා. මම එතුමාගේ අවසරය අරගෙනයි මේ කාරණාව පැහැදිලි කළේ.

පත්කළ මන්ත්‍ර ගෙවිඳු කුමාරතුංග මහතා – අපේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා වෙනත් රටකට අපේ රටේ ප්‍රශ්න විසදන්න බෑ කියලා. අපි 13වන සංශෝධනය ගත්තත් ඔබට අමතකද දන්නේ නෑ ඒක සම්මත වූනේ කොහොමද කියලා. අදටත් අපේ ව්‍යවස්ථාවේ තියෙනවා 13වන සංශෝධනයේ දෙවැනි සංශෝධනයේ සංයුක්ත ලැයිස්තුවේ තිබෙනවා පොලිස් බලතල ගැන කියනකොට යම් පළාතකට අයත් පොලිස් හමුදාවට අයත් සාමාජිකයින්ට හා බලතල ල විෂය පථය ඒ පළාතෙන් පිටත දුම්රිය පළාත තියෙනවද?

වෙන රටක ලියලා බලහත්කාරයෙන් අපේ රට තුළ පනවපු සංශෝධනයක් කර උඩ තියාගෙන යනවා. මෙතුමා කතා කළා 2017 ව්‍යවස්ථා සංශෝධනය ගැන ගරු අගමැතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි එකතු වෙලා නිර්මාණය කළ 69 ලක්ෂයේ ජනවරම තියෙන්නේ මෙතුමා 2017 ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධව නෙමෙයිද? ඔබතුමන්ලාගේ ජනවරමට එරෙහිවද මේ කටයුතු කරන්නේ.

මෙතුමා පත්වෙලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණ 69 ලක්ෂයේ ජනවරම වෙනුවෙන්. ඒ ජනවරම පැහැදිලිව නිර්මාණය කළේ ඔබතුමයි. ජනාධිපතිතුමා අද සඳහන් කළ 2017 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවයි. ඒ නිසා මේ රටේ ජනතාව පරාජය කළ ව්‍යවස්ථාවක් කර තබාගෙන එන්න යන්න එපා.

මේ පාර්ලිමේන්තුවේ එකඟතාවය මත මේ ජනවරමට අනුකූල වෙච්ච සංශෝධනයක් හෝ එකඟතාවයක් ගොඩනගනවා නම් ඒ වෙනම කාරණාවක්. අපි ලැජ්ජ වෙනවා ඔබතුමා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට තෝරාගෙන වාර්ගික පදනමක් මත කටයුතු කිරීම සම්බන්ධයෙන් අද කියනවා මුස්ලිම් වාර්ගික පදනම මත ඒ අයට සාකච්ඡාවක් දෙන්නම් කියලා. ඔබතුමාට බැරි වුණා ආදර්ශයක් දෙන්න උතුරු නැගෙනහිර දෙපළාතේ සියළු මහජන මන්ත්‍රීවරු ගෙනල්ලා සාකච්ඡාවක් පවත්තලා. පළාත් පාලන ඡන්දය ගැන ඔබතුමත් කියනවා ඇප මුදල් ආපසු දෙන්නම් කියලා. ජනාධිපතිතුමා කථා කරන්නේ බලය විමධ්‍යගත කිරීම පිළිබඳ. ගමට, පළාතට බලයා දීම ගැනයි. නාමයෝජනා කැඳවලා, ඇප මුදල් භාරගෙන, ඡන්ද නොතියා, ඔබතුමා කරන්න යන බලය බෙදීම මොකක්ද? කවුරු වෙනුවෙන්ද? ජනාධිපති සිහිනයක් වෙනුවෙන් අපේ මව්බිම පවා දෙන්න අපි කටයුතු කරන්නේ නෑ.

පත්කළ මන්ත්‍ර අතුරලියේ රතන හිමි – ජනාධිපතිතුමා විසින් සභාවට ඉදිරිපත් කළ කරුණු පොදුජන පෙරමුණේ අය සිහිකල්පනාවෙන් යුක්තව කතා කරයි කියලා. මම විපක්ෂයේ හිටියත් පොදුජන පෙරමුණේ අදහස් උදහස් සමග හිටියේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වීමට උදව් කර කැප වු අයයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද ඉදිරිපත් කළ දේ බරපතළකම සභාව තේරුම් ගත්තාද කියලා මා දන්නේ නෑ.

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට පැහැදිලිවම ජාතික වාදී නොවී ඔබතුමාට තිබෙන පොදු ප්‍රශ්නයක්. මූල්‍ය අර්බුදයක් සංස්කෘතික අර්බුදයක් තිබෙනවා. ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ජාතික කාරණා මුලට ගන්න එපා. උතුරු පළාතේ, දකුණු පළාතේ බලතල, මුස්ලිම් බලතල පළාතේ බලතල නෙමෙයි. ඔබතුමා ගෙනාපු කරාණා ආයෝජනය කරන්න බිලියන ගණන් පළාත් සභාවට ගේන්න පුළුවන් කියන එක. ඒකේ තියෙන බරපතලකම මේ සභාව ගැඹුරින් කල්පනා කරයි කියලා මා විශ්වාස කරනවා.

කොළඹ පත්කළ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා – 13 වන ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට උත්තරයක් ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ලබා දෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අදත් 13 සංශෝධන ප්ලස් එකට ඉන්නවා කියලා. පළාත් සභා ක්‍රමය මේ රටට ඇවිල්ලා ඉවරයි. බලතල වෙනස් කර ගන්න සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් නෑ. මේ රටේ අලුත් ප්‍රශ්නයක් හදන්න ඕනේ නෑ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා – අපි දැන් අපිට කරන්න තියෙන්නේ වාද විවාද කරන්න නෙමෙයි. අදාල පනත් කෙටුම්පත ආවාම තීරණයක් අරගන්න. මගෙන් අහනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන.

මම මේ ගැන සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන්ට විතරයි. කතාව ගැන කිව්වේ නෑ. තමුන්නාන්සේලා මට කියන්නේ රාජපක්ෂලාට යටවෙන්න එපා තනියම වැඩ කරන්න කියලද? තනියම වැඩ කරාම කියනවා ඇයි රාජපක්ෂලාට යට නොවුනේ කියලා.

දෙකෙන් එකක් තීරණය කරලා කියන්න මට. මේ ප්‍රශ්නය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු දෙනාම මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එකතු වෙලා තීරණයක් අරගන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment