හදිසි නීතිය පැනවීමේ  නියෝගය අස්කර ගන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

165

හදිසි නීතිය පැනවීම මේ වන විට රට තුළ පැනනැඟී ඇති අර්බුදකාරී තත්ත්වයට පිළිතුරක් නොවනා බැවින් වහාම හදිසි නීතිය පැනවීමේ නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මේ රටේ දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධාවක් ලෙස ඒ සඳහා පහසුවක් සපයනු ලබන කරුණක් නොවන්නේ යැයි ද එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු බාලපටබැඳිගේ යන මහත්වරුන් ප්‍රමුඛ නීතිඥ ප්‍රජාව එම ලිපිය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පෙන්වා දී තිබේ.

ප්‍රකාශනයේ නිදහස හා සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන බවත්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සහ හදිසි නීතිය භාවිතා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මහජන ආරක්‍ෂණ පනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මූලික විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි පරිච්ඡේදය තුළ සහ 1947 අංක 25 දරණ මහජන ආරක්‍ෂණ පනත තුළ අන්තර්ගතව ඇත.

එකී පනතට අනුව ශ්‍රී ලංකාවේ යම් කොටසකට හෝ ශ්‍රී ලංකාව මුළුල්ලේම හදිසි තත්ත්වයක් උද්ගතව ඇති බව ජනාධිපතිවරයා අදහස් කරන විට මොහුට රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හැකි අතර, එකී ප්‍රකාශය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය.

එවැනි ප්‍රකාශයක් මාසයක කාලයකට වලංගු වන අතර, නමුත් හදිසි තත්ත්වයක් පවතින බව ජනාධිපතිවරයා කරනු ලබන ප්‍රකාශය දින 10 ක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුය. එසේ දින 10 ක් තුළ පාර්ලිමේන්තුව විසින් එය සම්මත නොකළහොත් හදිසි අවස්ථාව පැනවූ දින සිට 14 වන දිනයේදී එය අහෝසි වී යයි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment