හමුදා බලයෙන් 75 වැනි තැන ශ්‍රී ලංකාවට

ලොව සාමයේ සුවය අත්විඳිනවාට වඩා යුද්ධයේ බියකුරු බවින් කම්පනය වී සිටියි. දෙරටක ඇවිලෙන යුද ගිනිදැල්වල උණුසුමින් ලෝකයේ අන් රටවල් ද දැවෙයි. එවන් කාලයක 2024 වසරේ ලොව බලවත්ම හමුදාවන් සතු රාජ්‍යයන් කවරේද යන්න පිළිබඳව අන්තර්ජාතික අවධානය යොමුවීම පුදුමයක් නොවෙයි. නවතම ‘PwrIndx’ ශ්‍රේණිගත කිරීම අනුව ලොව අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. රටවල් 145 ක් ඇසුරින් රටකට හිමි හමුදා කණ්ඩායම් ගණන, හමුදා ආයුධවල සංතෘප්තභාවය, රටේ ආර්ථික ස්ථාවරත්වය, භූගෝලිය පිහිටීම ආදිය සලකා බලා මේ ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙයි.

හමුදා බලයෙන් ඇමෙරිකාව රුසියාව පරදයි

අභ්‍යවකාශ තරගයෙන් ඇමෙරිකාවත් රුසියාවත් උනුන් අබිබවමින් ප්‍රථමයා වීමට වෙර දරයි. දෙරටේ හමුදා බල අරගලයේත් වෙනසක් නැත. රුසියාව පරදමින් ඇමෙරිකාව සඳ ගමනින් පෙරට පැමිණියාක් මෙන් හමුදා බලයෙන් ද පෙරමුණ ගෙන ඇත්තේ ඇමෙරිකාව ය. හමුදාව වෙනුවෙන් ඇමෙරිකානු රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 876ක් වැය කරනු ලබයි. ක්‍රි.ව. 1775 ජුනි 14 වැනි දින ඇමෙරිකානු හමුදාවේ උපන් දිනයයි. ඇමෙරිකානු රාජ්‍ය නායකත්වය හමුදාව සමග කෙතරම් බද්ධවී පවතිනවාද කිවහොත් එරට ජනපතිවරුන් 31 ක් හමුදා සේවයේ නියැළුණවුන් ය. ඇමෙරිකානු හමුදාව සතුව වර්ග සැතැප්ම 24000ක භූමි භාගයක් හිමි අතර එය එරට ජනපදයක් හා සමානය.

දෙවැනි තැන රුසියාවටයි

කලක් රතු හමුදාව ලෙස ප්‍රකටව සිටි රුසියානු හමුදාවේ ඉතිහාසය 1917 දක්වා දිවයන්නකි. වත්මන් ජනපති පුටින් ද පහළොස් වසරක් බුද්ධි අංශයේ සේවය කර තිබෙයි.

චීනය තෙවැනි තැනට

තායිවානය, පිලිපීනය සමග නිරන්තරව ගැටෙන තායිවානයට ගුවනින් සයුරින් බලපරාක්‍රමය පෙන්වන චීනය තවත් ලොව ප්‍රධාන යුද්ධයකට අර අඳින බව රහසක් නොවෙයි. එවන් තත්ත්වයක් තිබියදී චීනය ලොව තෙවැනි බලවත්ම හමුදාව හිමි රට බවට පත්වී ඇත. 2023 අගෝස්තු 1 වැනිදා චීනයේ මහජනතාවගේ විමුක්ති හමුදාව (People’s Liberation Army) සැමරුවේ 96 වැනි උපන් දිනයයි. ලොව හමුදාවන් අතර ශීඝ්‍ර දියුණුවක් පෙන්වන හමුදාවක් බවට චීන හමුදාව පත්වී අවසාන ය. මිලියන දෙකකට වැඩි හමුදා බලයක් සතු චීන හමුදාව වත්මන් චීන ජනපති ෂී ජින්පිංගේ නායකත්වය යටතේ පෙර නොවූ විරූ අන්දමින් නවීන ආයුධවලින් සන්නද්ධ වෙමින් පවතින අතර අසල්වැසි රටවල මෙන්ම ඇමෙරිකාවේ ද උකුසු ඇස චීන හමුදාව වෙත යොමුවී පවතියි. චීනයට තායිවානය, පිලිපීනය, වියට්නාමය, මැලේසියාව සහ බෘනෙයි රාජ්‍ය සමග ඇති තරගකාරීත්වය හේතුවෙන් නාවික බලය ශීඝ්‍රයෙන් වැඩිකර ගනිමින් පවතියි. තම කලාපයේ බලය තහවුරු කර ගැනීමේ සටනක යෙදෙන තර්ජනාත්මක රාජ්‍යයක් ලෙස චීනයට ඇඟිල්ල දිගු වන්නේ කලක සිට ය.

අපේ යෝධ අසල්වැසියා සිව්වැනි තැන ගනියි

හමුදා බලයෙන් ඇමෙරිකාව අංක එක

දකුණු කොරියාව පස් වැනි තැනටත් බ්‍රිතාන්‍ය සය වැනි තැනටත් ඇද දමමින් දකුණු ආසියාවේ රටක් හමුදා බලයෙන් සිව්වැනි තැනට පත්වීම අසල්වැසි ශ්‍රී ලංකාවට ද අභිමානයකි. ඒ ඉන්දියාවයි. අභිමානවත් යුද ඉතිහාසයක් ඇති ඉන්දියාව ජනගහන බලයෙන් චීනය පරදාලී ය. හමුදා බලයෙන්ද දැන් චීනය ආසන්නයටම පැමිණ ඇත. 2022 වසරේත් ඉන්දියාව සිටියේ හමුදා බලය වැඩිම රටවල් අතර සිව්වැනි ස්ථානයේ ය.

සත් වැනි ස්ථානයට පත්වී ඇත්තේ ජපානය වන අතර තුර්කිය අට වැනි ස්ථානයත්, පකිස්තානය නව වැනි ස්ථානයත් හිමිකර ගෙන සිටියි. ඉතාලිය ලොව දස වැනි බලවත්ම හමුදා ශක්තිය හිමි රටය.

උතුරු කොරියාව කෙතරම් නවීන ආයුධ ගැන පාරම්බෑව ද ශ්‍රේණිගත කිරීම්වලට අනුව සිටින්නේ 36 වැනි තැනය. දේශ සීමා නොමැති දූපතක් වන ශ්‍රී ලංකාව ලබා ගෙන ඇත්තේ 75 වැනි ස්ථානයයි.

දුර්වලම හමුදා බලයක් හිමි රට භූතානයයි

හමුදා බලය අඩුම රටවල් දහය වන්නේ භූතානය, මෝල්ඩෝවා, සූරිනාමය, සෝමාලියාව, බෙනින්, ලයිබීරියාව, බෙලයිස්, සියරාලියෝන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ අයිස්ලන්තය ය. අයිස්ලන්තය, භූතානය සාමයේ සැනසිලි සුවය අත්විඳින රාජ්‍යයන් ය. අනෙක් රටවල් බොහොමයක් ආර්ථික අර්බුද, අරගල, ඉඩකඩ ප්‍රශ්න හේතුවෙන් සවිමත් හමුදාවක් ගොඩනඟා ගැනීමට හැකියාවක් නැති රටවල් ය.

අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment