හිටපු ඇමැති ජොන්ස්ටන් නොපැමිණීමෙන් සතොස නඩුව කල්යයි

132

පළමුවන විත්තිකාර හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ හමුවේ පෙනී නොසිටීම නිසා ඔහු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 27 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (21දා) නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද පැමිණිල්ලේ 3,4 සහ 5 වන සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා අවාද කළේය.

ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ සැසිවාරයකට සහභාගි වීමට නියමිත බැවින් එම මන්ත්‍රීවරයා අධිකරණයට නොපැමිණෙන බවට පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ චතුරංග බණ්ඩාර මහතා පෙනී සිටි අතර නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා විත්තිය නියෝජනය කළේය. 2010.1.1 සහ 2014.12.31 කාලය අතරතුර දී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ කාජා මොහොමඩ් මොහිදින් සාකිර් යන විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment