හිරුණිකාගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න මට අවශ්‍ය නෑ – මම කිව්වේ මට සිදුවුණු අසාධාරණය ගැනයි

10342

පැහැර ගැනීමට ලක්වූ අමිල ප්‍රියංග උසාවියේදී සාක්‍ෂි දෙමින් කියයි

නවවන විත්තිකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් අධිකරණය හමුවේ තමා අසත්‍ය සාක්‍ෂි ලබාදෙන බවට විත්තිය කරන යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බවත්, තමා සාක්‍ෂි ලබාදෙනු ලැබුවේ තමන් අත්දුටු සිද්ධියක් ගැන මිස අසත්‍යයක් ගැන නොවන බවත් පැහැර ගැනීමට ලක්වූ අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා ඊයේ (12 දා) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සාක්‍ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

මම දෙමටගොඩ වෙළෙඳසලේ වැඩ කරමින් සිටින විට ආව පිරිසක් මාව අරගෙන හිරුණිකා ප්‍රේමචන්‍ද්‍ර මිස්ගේ කාර්යාලයට ගිහින් දොර වහලා මගේ වටේ හිටගත්තා. එවිට ඉඳගෙන හිටිය තැනින් නැගිටලා ඇවිත් මේසෙ උඩ ඉඳගෙන කකුල් දෙක පද්ද පද්ද හිරුණිකා මිස් මට කීවා මෙයා (අටවන විත්තිකරු) මට දේශපාලන වශයෙන් ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ නිසා මම තමයි තමුන්ව අරගෙන එන්න කිව්වේ කියලා. මම ඒ බව උසාවියට කිව්වේ එයාට අපහාස කරන්න හෝ මේ නඩුවට පටලවන්න නෙමෙයි, මට එයාම එහෙම කිව්ව නිසයි. මම එහෙම හිතාගෙන ද්වේෂ සහගතව සාක්‍ෂි දුන්නා කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මට එහෙම කියලා කිව්වා ගිහින් චමිලාව එක්කගෙන එන්න කියලා. චමිලා කියන්නේ මේ නඩුවේ අටවන විත්තිකරුගේ බිරිඳ. මට බලේ තියෙනවා යාපනයේ සිටියත් හොයාගන්න පුළුවන් කියලත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මට කීවා. අටවන විත්තිකරුගේ පෞද්ගලික ප්‍රශ්නයක් මුල්කරගෙන එනම් ඔහුගේ බිරිඳ සමග මම පවත්වාගෙන ගිය සබඳතාවයක් නිසා මාව එලෙස ඇගේ කාර්යාලයට අරගෙන ඇවිත් තිබුණත් ඒකට හිරුණිකා මහත්මිය සම්බන්ධ බව මම දැනගත්තේ ඇයම මට එහෙම කියපු නිසයි. මම ලබාදෙන ලද සාක්‍ෂි මාධ්‍ය මගින් ප්‍රචාරය කර හිරුණිකා මහත්මියට අපහාස කිරීමේ චේතනාවෙන් බොරු සාක්‍ෂි ලබාදෙන බවට විත්තිය කරන යෝජනාවත් මම ප්‍රතික්‍ෂේප කරනවා. මට ප්‍රසිද්ධියක් ගන්න ඕන නෑ. මම කීවේ මට සිදුවුණු අසාධාරණය ගැනයි යැයි ද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සාක්‍ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම නඩුවේ 25 වන සාක්‍ෂිකාර කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කරන පොලිස් පරීක්‍ෂක රුවන් ගුරුසිංහ මහතා ද සාක්‍ෂි ලබාදුන් අතර වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන සැප්තැම්බර් 14 වැනිදා දක්වා කල්තැබීමට මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය.

රජයේ අධිනීතිඥ සංඛ විජේසූරිය මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජයන්ත ලාල් මහතා එම කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment