ළමා අපයෝජන සහ ගබ්සා නීතිය

1514

වත්මන් ශ‍්‍රී ලාංකික සමාජය සලකා බැලීමේදී ළමා අපචාරවල වර්ධනයක් සිදු වෙමින් පවතින බව නොරහසකි. ස්ත‍්‍රී දූෂණ සහ ළමා අපචාර නිරන්තරයෙන්ම පුවත් මවන බරපතළ සමාජ පිළිලයක් බවට ක‍්‍රමයෙන් පත්වෙමින් පවතී.

 1989 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එළි දක්වන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳව ප‍්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු සියලූ මනුෂ්‍යයන් ළමුන් ලෙස සලකනු ලැබේ. ළමා අපයෝජනයක් යනු ළමයකුගේ කායික මානසික තත්ත්වයට පිටස්තර පුද්ගලයෙක් විසින් ඔහුගේ හෝ ඇයගේ යහපතට හෝ මනා කල්ක‍්‍රියාවට එරෙහිව සිදු කරනු ලබන කුමන හෝ ක‍්‍රියාවකි. එසේ ළමුන් කෙරෙහි කුමන හෝ අනර්ථයක් සිදු වන, ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කවර හෝ ක‍්‍රියාවලියක් ළමා අපචාරයක් ලෙස හඳුන්වනු ලබයි.

 කායික අපයෝජන, මානසික අපයෝජන, ලිංගික අපයෝජන, දරුවන් නොසලකා හැරීම් මෙන්ම දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා නිසි ලෙස සලසා නොදීම, අධ්‍යාපනය නිසි ලෙස ලබා නොදීම, ළමා මෙහෙකාර සේවය, ළමා සොල්දාදුවන්, ළමා විවාහයන්, සහ ළමුන් ගණිකා වෘත්තීයේ යෙදවීම ආදිය ළමා අපචාරවලට උදාහරණ වේ. දෙමාපියන්ගේ ආර්ථික ගැටලූ, රැුකියා විරහිතකම, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම, අඩු වයසින් විවාහ වූ දෙමාපියන් වීම, වැනි කාරාණාවන් මෙම ළමා අපචාරවලට හේතු වී ඇති බව පෙනී යයි.

 නමුත් වත්මන් සමාජය තුළ වැඩි වශයෙන්ම වාර්තා වන්නේ කායික අපයෝජන සහ ලිංගික අපයෝජනයි. එයිනුත් ලිංගික අපයෝජනය දිනෙන් දින ඉහළ යන උවදුරක් බවට අද වන විට පත්ව තිබේ. මෑතකදී මුලතිව් ප‍්‍රදේශයේ මියගිය 12 හැවිරිදි දියණියගේ පුවත මෙයට හොඳම උදාහරණයකි. අද වන විට සමාජය තුළ දරුවන් පත්ව ඇත්තේ අතිශයින්ම අවධානම් වූ ද අනාරක්ෂිත තත්ත්වයකටය. තමන්ගේම පියාගෙන්, සහෝදරයාගෙන්, ඥාතීන් අතින් දූෂණයට පත් වීමට තරම් අද සමාජය පිරිහීමකට පත් වී හමාරය. ළමා අයිතිවාසිකම් හුදෙක් යම් යම් පනත්වලට පමණක් සීමා වී තිබීම ශෝකයට කරුණකි. එසේ මියගිය මුලතිව් දැරියගේ පුවත හරහා නැවතත් කරළියට පැමිණි මාතෘකාව වූයේ ගබ්සාවයි. දැරිය මියයන්නේ මාස දෙකක ගැබක් නීතිවිරෝධී ලෙස ගබ්සා කිරීමට යෑමෙන් ඇති වූ අධික රුධිර වහනය නිසාවෙනි. ඉතින් ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් වෙනුවෙන් හෝ ලංකාවේ පවතින ගබ්සා නීතිය තරමක් දුරට ලිහිල් වූයේ නම් එම දැරියගේ අනාගතය අද වන විට සුරක්ෂිත නොවන්නේද? ලංකාවේ දරු පරපුර වෙනුවෙන් හෝ එවැනි නීති යාවත්කලීන කළ යුතු නොවේද ?

 ගබ්සාව ලෙස හ`දුන්වනු ලබන්නේ නොමේරු කලලයක් ස්වාභාවිකව හෝ බාහිර බලපෑමක් මඟින් ගර්භයෙන් පිටතට ගැනීමයි. සති 28 කට පෙර එසේ ඉවත් කිරීම abortion (ගබ්සාව) ලෙස සලකනු ලබන අතර සති 28 න් පසුව සලකන්නේ
 premature delivery (නොමේරූ දරු උපතක්) ලෙසිනි.

 සාමාන්‍යයෙන් ප‍්‍රධාන වශයෙන් ගබ්සාව කොටස් දෙකකි.

 1) spontaneous (නිතැත් ගබ්සාව*

 මවගේ හෝ කලලයේ පවතින්නා වූ අසාමාන්‍යයතාවයක් නිසා ස්වාභාවිකම සිදුවන ගබ්සාව

 2) Induced (පේ‍්‍රරිත ගබ්සාව)

 බාහිර මැදිහත් වීමක් හරහා සිදු කරනු ලබන ගබ්සාවයි. සාමාන්‍යයෙන් නීත්‍යානුකූල නොවන අවස්ථාවකදී, අපරාධයක් ලෙස සැලකෙනු ලබන්නේ මෙයයි.

 ලංකාවේ නීත්‍යානුකූල නොවන ගබ්සාවන් සඳහා සාමාන්‍යයෙන් වැඩි වශයෙන්ම යොමු වී ඇත්තේ අවිවාහක තරුණියන්, විවාහක මැද පෙරදිග රටවල සේවයේ නියතු කාන්තාවන්, අපේක්ෂා නොකළ දරු පිළිසිඳ ගැනීමට ලක් වූ විවාහක කාන්තාවන්, උපත් පාලන ක‍්‍රමයන්ගේ අසාර්ථක වීම් නිසා ගැබ් ගැනීමට ලක් වූ කාන්තාවන්, දූෂණයට ලක් වූ දැරියන්/ කාන්තාවන්, අසාමාන්‍ය කලල සහිත ගැබිනි මව්වරුන් යන කොට්ඨාසයන් වේ. නමුත් ලංකාව තුළ දැනට නීත්‍යානුකූල ගබ්සාවකට ලක් විය හැක්කේ මවගේ ජීවිතයට කායික හෝ මානසික ලෙස එම දරු උපතෙන්/ ගැබෙන් හානියක් පවතී නම් පමණි. එවැනි අවස්ථාවක රජයේ රෝහලක පිලිගත් වෛද්‍ය වරයෙක් හරහා සිදුවන ගබ්සාව නීත්‍යානුකූල ලෙස පිලිගැනේ. නමුත් අන් සියලූ අවස්ථාවලදීම ගබ්සාව සාපරාධී ක‍්‍රියාවක් ලෙස හඳුන්වනු ලබයි.

 සාමාන්‍යයෙන් ලංකාව තුළ සාපරාධී ගබ්සා කිරීම් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරුන්, ව්‍යාජ වෛද්‍ය වරුන් සහ අනිකුත් සෞඛ්‍ය අංශ සේවකයන් හරහා ද සිදු වේ. සාමාන්‍යයෙන් ගබ්සාවක් අතරතුර හෝ ඊට පසුව විවිධ සංකූලතාවයන්ට හෝ මරණයට හෝ අදාළ කාන්තාව ලක්විය හැකි නිසා ගබ්සාව යනු ඉහළ ජීවිත අවධානමක් සහිත කාරණාවකි. ගබ්සාවක දී සිදුවන අධික රුධිර වහනය සහ කම්පනය, ජීවානුහරණය නොකළ උපකරණ භාවිතා කිරීම නිසා යම් යම් විෂබීජ ශරීරගත වීම, නිර්වින්දනයේ ගැටලූ, කලල කොටස් සම්පූර්ණයෙන්ම ගර්භාෂයෙන් ඉවත් නොවුනහොත් එම කොටස් විෂබීජ මඟින් ආසාදනය වීම, රුධිරය විෂබීජ එකතුවීම, සෙසු ඉන්ද්‍රියන්ට හානි වීම, රුධිර නාල තුළට වායු බුබුළු ඇතුල්වීම, හෘද ක‍්‍රියාකාරීත්වය නතර වීම, වකුගඩු අකර්මණ්‍ය වීම වැනි හේතූන් නිසා නිසි සෞඛ්‍ය උපක‍්‍රම නොමැතිව ගබ්සාවට ලක්වන කාන්තාවක්, මරණයට පත් වීමේ ඉහළ හැකියාවක් පවතියි.

 මේ නිසාම ගබ්සාව තව දුරටත් අපරාධයක් ලෙස නොසලකා එය තවත් එක් සෞඛ්‍ය ගැටලූවක් ලෙස පමණක් දැකිය යුතු බව ලොව පිළිගත් බි‍්‍රතාන්‍ය ප‍්‍රසව සහ නාරි විශේෂඥවරුන් කිහිපදෙනකුගේම අදහසයි. ශ‍්‍රී ලංකාව තුළ පවා වර්තමානයේ සිදුවන්නා වූ මේ සිදුවීම් සමඟ සලකා බැලීමේ දී ඒ කියමනේ යම් වලංගුතාවයක් පවතියි. අනෙක් සෑම සෞඛ්‍ය ක‍්‍රමවේදයක් මෙන්ම ගබ්සාව ද නිසි පාලනයක් සහ වෘත්තීය ප‍්‍රමිතියක් සහිතව සිදු විය යුත්තකි. ලොව අන් රටවල් සලකා බැලීමේදී එම රටවල් කිහිපයකම වර්තමානයේ ගබ්සාව පිළිබඳව යම් ලිහිල් නීති පද්ධතියක් අනුගමනය කරනු ලබයි. කැනඩාව, එක්සත් ජනපදය වැනි රටවල ගබ්සාව සාමාන්‍ය සෞඛ්‍ය සේවයේම එක් කොටසකි. ඉන්දියාව තුළ ගැබට සති 20 කට පෙර ගබ්සා කිරීම නිත්‍යානුකූල ලෙස සිදු කළ හැකිය. බංග්ලාදේශය තුළ සති 10 කට පෙර නීත්‍යානුකූල ගබ්සාවකට මවට භාජනය වීමේ හැකියාවක් පවතියි.

 ඉතින් දරු උපතක් බලාපොරොත්තු නොවන තවත් දරුවෙක්ට/ කාන්තාවකට පවතින නීතිය යටතේ පමණක් දරුවෙක්ට උපත දී රැුකබලා ගැනීමට සිදු වීම කෙතරම් දුරට සාධාරණද ? එතුළින් ඒ මව මෙන්ම උපදින දරුවා ද ලක් විය හැකි බලපෑම මොනතරම් සුවිශාලද? එසේම දූෂණයට ලක් වූ දරුවෙක්ට/ කාන්තාවකට ගබ්සාවකට අවශ්‍ය සුරක්ෂිත සෞඛ්‍ය පහසුකම් ලබා දී එම දරුවාගේ හෝ කාන්තාවගේ අනාගතය බේරා ගැනීම කොතරම් නම් වර්තමානය හා උචිතද ?

 ඉතින් මේ මානව ශිෂ්ඨාචාරයේ තීරණාත්මක සාධකය දරුවා බව අප කවුරුත් තරයේ සිහි තබාගත යුතුමය.

 විමූ රත්නායක
 ආයුර්වේද වෛද්‍ය පීඨය,
 කොළඹ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment