ළමුන්ට ඇතිවන පිළිකා

450

ළමා වියේදී ඇතිවන පිළිකා සඳහා නිශ්චිත හේතුව කුමක්දැයි කියා තවම පැහැදිලි නැත. සෑම වයසකම සෑම ජාතිකයකම, සෑම සමාජ මට්ටමකම දරුවකුට පිළිකාවක් වැළඳීමේ හැකියාව පවතී. සෑම පිළිකාවකදීම පාහේ ජානමය වෙනසක් ද දැකිය හැකිය. නමුත් එම වෙනස්කම් දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙනුයේ කලාතුරකිනි.

ළමුන් අතර බහුල පිළිකා

ලියුකේමියා, මොළය හා මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා, ඇසේ ඇතිවන රෙටිනොබ්ලාස්ට්‍රෝමා, ස්නායු පටක ආශ්‍රිතව හටගන්නා නියුරොබ්ලාස් ට්‍රෝමා, වකුගඩු ආශ්‍රිතව මතුවන විල්ස් ටියුමර්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසක් වන වසා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ලිමිෆෝමා, අස්ථි, මාංශපේෂි වැනි ඕනෑම සම්බන්ධක පටකයක ඇතිවන සාකෝමා යන පිළිකා ළමුන් අතර බහුලව දැකිය හැකි පිළිකා ය.

ළමා වියේ ඇතිවන පිළිකා හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ

නාසයෙන්, විදුරුමසින් හෝ සමේ හදිසි ලේ ගැලීම්, අසාමාන්‍ය ලෙස සන්ධි ඉදිමුම, අස්ථිවල සන්ධිවල අසාමාන්‍ය වේදනාව, ඇවිදීමේදී සමබරතාවය අඩුවීම, ඇසේ සුද මතුවීම, ඉකිලි කිහිලි බෙල්ල ආශ්‍රිත වසා ගැටිති ඉදිමුම, කල් පවතින උණ, ප්‍රතිජීවක හෝ පැරසිටමෝල් ලබාදිමෙන් ද අඩු නොවන උණ, රාත්‍රියේදී අධික ලෙස දහදිය දැමීම, මුහුණේ සුදුමැලිබව, බඩ ඉදිමුම, නිතර ඇතිවන බඩේ කැක්කුම, උදය වරුවේ ඇතිවන වමනය, උදය වරුවේ ඇතිවන තද හිසරදය, දරුවාගේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇතිවීම, කිසිම හේතුවකින් තොරව හටගන්නා වලිප්පුව, දරුවා ස්පර්ශ කරන විට ගැටිති වැනි දෑ හමුවීම ආදිය මගින් දරුවාට පිළිකාවක රෝග ලක්‍ෂණ ඇතිදැයි කියා සැක කළ හැකිය. ඒ අනුව නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ලබා රෝගය සුවකර ගත හැකි වේ.

අත්බෙහෙත්, ගොඩ වෙදකම් ආදියට යොමු නොවී නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය.

නවීන විද්‍යාවේ දියුණුවත් සමඟ පිළිකා රෝගය මූලික අවධියේ හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේ පහසුකම් ඇත.

පිළිකා රෝග වෛද්‍ය ඉසුරු විජේරත්න
සකස් කළේ – දුම්මලසූරිය
සෝමවීර ගම්ලත්
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment