73 වෙනි වියට පත් මුල්කිරිගල රාජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල නා හිමියෝ

67

බුදු පා පහසින් තෙවරක් අති පාරිශුද්ධත්වයට පත් ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ සිට ත්‍රි සිංහලය නමින් හඳුන්වන රුහුණු, මායා, පිහිටි තුන් සිංහලයට අයත් රුහුණු රටට අත් වන්නේ සුවිශේෂි ස්ථානයකි. රාජ රාජ මහා අමාත්‍යාදීන් මෙන්ම ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ ද වැඩ සිටි ප්‍රදේශයක් මෙන්ම දෙදහස් වසරක බෞද්ධ ඉතිහාසයට උරුමකම් කියන සිද්ධස්ථාන රැසක්ද එම භූමිය තුළ පිහිටා ඇත. දෙස් විදෙස් ජනී ජනයාගේ අමන්දානන්දයට පත් කරන එවන් ස්ථානයක් ලෙස රුහුණු රට දකුණු ගිරුවා දනව්වේ පිහිටි මුල්කිරිගල රාජමහා විහාරස්ථානය නම් කළ හැක. එහි වත්මන් නායක හිමිපාණන් වහන්සේ වන්නේ බෙලිගල්ලේ සරණපාල නායක මාහිමිපාණෝය. භික්ෂු පරපුරට මෙන්ම සංඝ ශාසනයට සිදු කරනු ලබන්නේ මහඟු මෙහෙවරකි. උන්වහන්සේ මේ වන විට 73 වෙනි වියට පා තබා ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සුන්දර ගම්මාන අතර ඉහළ බෙලිගල්ල ග්‍රාමය කලාකරුවන්, කවියන්, ගත්කරුවන්, රාජ්‍ය පාලකයන් මෙන් ගුණ දහමින් පිරි ගැමි ජනතාවක් නියෝජනය කරන සුන්දර ගම්මානයකි. එහි වැලිහේන ඉහළ බෙලිගල්ල යන ලිපිනයේ පදිංචි කොඩිප්පිලි හෙට්ටි ආරච්චිගේ මහතා හා ලියනගේ ඇගී හාමි යන දම්පතීන් යුවළගේ තෙවැනි පුත්‍ර රත්නය ලෙස අප නා හිමියෝ 1960.06.13 වන දින උපත ලබා ඇත. කොඩිප්පිලි හෙට්ටි ආරච්චිගේ සනත් කුමාර ලෙස නම් ලැබූ අප කුමරුවාණෝ බෙලිගල්ල කනිටු විදුහලට ඇතුළත්ව එහි 09 වසර දක්වා ඉගෙනුම ලබමින් සිටින අවධියේ නිරන්තර භික්ෂුන් වහන්සේට හා කහ සිවුරට ඇලුම් කිරීම නිසා මහණ වෙන්න ඕනෑ යැයි පැවසීමෙන් පසු දෙමව්පියන්ගේ කැමැත්ත පරිදි බෙලිඅත්ත කුඩාහීල්ල මහ පන්සලට පැමිණ එහි සිට භික්ෂු ජීවිතයට අවැසි සකස්කඩ, නම් පොත, බුද්ධ ගජ්ජය ආදී වන පොත් ප්‍රගුණ කර නැවත මුල්කිරිගල රාජමහා විහාරස්ථානයට පැමිණි එහි විහාරාධිපති හීන්බුන්නේ පුඤ්ඤසිරි නා හිමි ගුරු දේව කොට 1985.09.30 වන දින බෙලිගල්ලේ සරණපාල නමින් පැවිදි දිවියට ඇතුළත් විය. භික්ෂු අධ්‍යාපනය සඳහා අම්බලන්තොට රංගිරි විහාර සද්ධාතිස්ස පිරිවෙනට ඇතුළත්ව එහි අවසානය දක්වා ඉගෙනීමේ කටයුතු සිදු කරන ලදී. 1986 මහනුවර මල්වතු මහා විහාරිය උපෝසථාගාර සීමා මාලකයේදී අධි සීල උප සම්පදාවට පත් අප නා හිමියෝ මුල්කිරිගල රාජමහා විහාරස්ථානයට අයත් මාමඩල ඵෙතිහාසික සම්බාරාජ මහා විහාරස්ථානයට පැමිණ එහි සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී.

පෞරාණික නටබුන් සමඟ මහා වනාන්තරයට පත්ව තිබූ මෙම විහාරස්ථානයේ උන්වහන්සේ එනවිට පැවතියේ කුඩා කාමර 02 ක් හා චෛත්‍ය පමණි. මෙය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වුවද කිසිදු සංවර්ධනයක් ඒ වන විට සිදු වී නොමැත. ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය හා උන්වහන්සේගේ පරිත්‍යාගශීලීත්වයෙන් සම්බාරාජ මහා විහාරස්ථානය මේ වන විට දකුණු පළාතේ ඇති රමණීය විහාරස්ථානයකට අවැසි විහාරාරංගයන්ගෙන් සමන්විතව ගොඩනගා ඇත. රු. කෝටි 10 කට වැඩි පිරිවැයක් මේ සඳහා යොදවා ඇත. නව සංඝාවාස 02 ක් නව ධර්මශාලාව, විහාර මන්දිරය, වාහල්කඩ ඇතුළු විහාර භූමියද ක්‍රමවත් ලෙස සංවර්ධනය කැ ඇත. මේ වන විට සම්බාරාජ මහා විහාරය දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන ස්ථානයකි. අප සරණපාල නායක හිමිපාණන් වහන්සේගේ මෙම ශාසනික සේවාව අගයමින් මහනුවර මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව විසින් මාකර වැල්ලබඩ පත්තුව ඇතුළු හම්බන්තර දිසාව ප්‍රධාන සංඝනායක ධුරයද පිරිනමා ඇත. මුල්කිරිගල රාජමහා විහාරය, මාමඩල සම්බාරාජ මහා විහාරය හා උස්වැව අමරතුංග ගම පුරාණ විහාරස්ත්‍රයාධිපති බෙලිගල්ලේ සරණපාල නා හිමියෝ මේ වන විට 73 වෙනි වියට පත්ව ඇත. උන්වහන්සේට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනය කරමි.

ඇඹිලිපිටියේ – සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment