My Sri Lanka යනු ශ්‍රී ලංකාවට මගේ ඇති ආදරයයි !

131

■ රුසියානු ලේඛක ඇනටොලි රොඩෝෆ්

රුසියානු ලේඛකයකු සහ ජනමාධ්‍යවේදියකු වන ඇනටෝලි රෝඩොව් විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද එදා මෙදාතුර ශ්‍රී ලංකාවට සපැමිණි සුප්‍රකට රුසියානුවන් ශ්‍රී ලංකාව දුටු ආකාරය ගැන අප්‍රකට තොරතුරු රැසක් අන්තර්ගත My Sri Lanka නම් කෘතිය පසුගියදා එළිදක්වන ලදි.

මේ එම කෘතිය පිළිබඳව එහි කතුවර ඇනටොලි රොඩොෆ් හා සිදුකළ සංවාදයකි.

● ශ්‍රී ලංකාවට පැමිණි සුප්‍රකට රුසියානුවන් ශ්‍රී ලංකාව දුටු ආකාරය පිළිබඳ අප්‍රකට තොරතුරු ඇතුළත් කර ඔබ විසින් ලියන ලද My Sri Lanka කෘතිය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් ලෙස අපි බෙහෙවින් ආඩම්බරයට පත්වෙනවා. මෙවන් කාර්යයක් කරන්නට මුලින් ම ඔබ පෙළඹුණේ මොන ආකාරයට ද?

මෙය මාගේ පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වුවත්, ඒ ගැන මුලින් ම මම ස්තූතිවන්ත වියයුත්තේ, ආචාර්ය රන්ජන දේවමිත්‍ර සේනාසිංහට. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය නිසා තමයි මට මෙවැන්නක් කිරීමේ අදහසක් මුලින් ම ඇතිවුණේ.

My Sri Lanka යනු ශ්‍රී ලංකාවට මගේ ඇති ආදරයයි !

● මෙම කෘතිය පිළිබඳව සැකෙවින් හැඳින්වීමක් කළොත්.

මගේ එම පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා කිහිපවරක් ම ශ්‍රී ලංකාවට පැමිණි මම රුසියානු – ශ්‍රී ලංකා සබඳතා අධ්‍යයනය කළා. එනිසා ම මීට අදාළ තොරතුරු රැසක් එක්රැස් කර ගන්න මට හැකියාව ලැබුණා. රුසියානු සංචාරකයන්, ලේඛකයන්, විද්‍යාඥයන් සහ කලාකරුවන්ගේ ඉතිහාසය, දිනපොත් සහ සංචාරක සටහන් මත පදනම්ව තමයි මම මේ කෘතිය සම්පාදනය කරන්නේ. 15 වන සියවසින් ආරම්භ වන පුළුල් කාල පරිච්ඡේදයක් ආවරණය කරන විශාල සංස්කෘතික ස්ථරයක් කරා විවෘත වන මෙම කෘතිය අවසන් වන්නේ 21 වන සියවසේ තොරතුරුවලින්.

● මෙවන් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමේ ඇති වැදගත්කම ඔබ දකින්නේ කෙසේ ද?

වසර 65ක් තරම් ඈතට දිවෙන ශ්‍රී ලංකාව හා රුසියාව අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සහ අන්‍යෝන්‍ය මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් රුසියානු විද්‍යාඥයන්, ලේඛකයන්, කවියන්, පර්යේෂකයන් සහ සංචාරකයන් පිළිබඳව මම මේ කෘතිය තුළ අවධානය යොමුකර තිබෙනවා. එනිසා, රුසියානු – ශ්‍රී ලංකා සබඳතා ගැන පමණක් නොව, ශ්‍රී ලංකාව

ගැන අධ්‍යයනයක් කිරීමට උනන්දුවක් දක්වන සියලුම රටවල ඉංග්‍රීසි කතා කරන සාමාන්‍ය ජනතාවට ද ශ්‍රී ලංකාව මේ යැයි ලෝකයට පෙන්වන ග්‍රන්ථයක් ලෙස ද මෙය වැදගත් වේවි.

● මෙම කෘතියේ ඇතුළත් ශ්‍රී ලංකාවට පැමිණි රුසියානුවන් සඳහන් කර ඇති අත්දැකීම්වලට අමතරව ශ්‍රී ලංකාව ගැන ඔබ ලබා ඇති අත්දැකීම් ගැනත් දැනගන්න කැමැතියි.

මම දැන් වසර 10ක පමණ සිට ශ්‍රී ලංකාවේ වාසය කරනවා. 2013 වසරේ තමයි මගේ බිරිඳත්, ළමයිනුත් සමඟ පළමුවරට ශ්‍රී ලංකාවට පැමිණියේ. එහි දී අපට උදව් කළ සංචාරක

මාර්ගෝපදේශකයන් සඳහන් කළේ මෙරටට පැමිණි රුසියානුවන් තිදෙනෙකු ගැන පමණයි. ඒ, ඇන්ටන් චෙකෝව්, දෙවන නිකොලායි අධිරාජයා සහ යූරි ගාගාරින්. එනිසා, මම ශ්‍රී ලංකාවේ ඉතිහාසය හදාරන්නටත්, මෙරටට පැමිණි රුසියානුවන් ගැන තොරතුරු සොයන්නටත් උනන්දු වුණා.

● ශ්‍රී ලංකාව ගැන මතක සටහන් තැබූ විශාල පිරිසක් මෙම කෘතිය තුළ අපට හමුවෙනවා. ඒ අතරින් ඔබගේ වඩාත් සිත්ගත් කෙනෙක් ගැන සඳහන් කළොත්.

මෙම කෘතියේ එන සියලුදෙනා ම පාහේ සිත්ගන්නාසුලු මතක සටහන් ලියූ සිත් ඇදගන්නාසුලු චරිත. ඒ අතරින් දෙදෙනකුගේ ඉරණම ගැන කතාකරන්න මා වඩාත් කැමතියි. ඔවුන් දෙදෙනා තමයි, අවසානයේ ඉතාමත් ඛේදජනක ඉරණමකට මුහුණ දුන්, ලුද්මිලා ඇලෙක්සියෙව්නා මියර්වත් සහ ඇලෙක්සැන්දර් මිහායිලොවිච් මියර්වත් යන විවාහක යුවළ. ඉන් ඇලෙක්සැන්දර් මිහායිලොවිච් මියර්වත් රුසියානුවෙක් නොවෙයි. ඔහු උපතින් ජර්මානුවෙක්. 1912 දී රුසියාවට පැමිණෙන ඔහු ඕර්තඩොක්ස් කිතුනු දහම වැළඳ ගන්නවා. අනතුරුව 1914 දී රුසියාව විසින් ඔහුත්, ඔහුගේ බිරිඳත් මානව වංශ විද්‍යා පර්යේෂණ චාරිකාවක් සඳහා දකුණු ආසියානු කලාපයට පිටත් කර යවනවා. එම කාර්යය සඳහා රුසියාවෙන් යැවෙන පළමු පර්යේෂණ කණ්ඩායම වන්නේ ඔවුන් දෙදෙනා යි. ඔවුන් දෙදෙනා මුලින් ම පැමිණෙන්නේ ලංකාවට. ඊට ඉහත එවන් පර්යේෂණ චාරිකාවක නිරත වූවකු වී නම්, ඒ 1874 දී ලංකාවට පැමිණි මහාචාර්ය ඉවාන් පාව්ලවිච් මිනායෙෆ් පමණයි. ඔහු වැඩි වශයෙන් කළේ බුදුසමයේ ඉතිහාසය අධ්‍යයනය කිරීම යි. එහෙත්, මියර්වර්ත් යුවළ සිදුකළේ මානව වංශ විද්‍යා පර්යේෂණ යි. ඔවුන් කළේ පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය වන ජනශ්‍රැති, පවුල් පරම්පරාවල ඉතිහාසය, මැටි භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, වෙස්මුහුණු ආදී සියල්ල එකතු කිරීම යි.

මියර්වර්ත් යුවල ලංකාවට එන්නේ 1914 අප්‍රේල් මාසයේ දී. ඔවුන් පැමිණ සති කිහිපයකට පසුව පළමුවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. ඔවුන් එකතු කරගත් සියලු භාණ්ඩ කොළඹ වරායෙන් රුසියාවේ ඔඩෙස්සා වරායට නැව්ගත කරනවා. ඒ, මහා පීටර් අධිරාජයාගේ යුගයේ ගොඩනැගූ වර්තමානයේ රුසියානු මානවවිද්‍යා කෞතුකාගාරය නමින් හැඳින්වෙන ‘කුන්ස්ත්කාමෙරා’ නම් රුසියාවේ පළමු විද්‍යා ශාස්ත්‍රීය පර්යේෂණාගාරයට යැවීමට යි.

යුද්ධය නිසා ඒවායින් වැඩි කොටසක් අස්ථානගත වෙනවා. රුසියාවට ළඟා වූ භාණ්ඩ අදටත් එහි සුරැකිව තැන්පත් කර තිබෙන අතර, අදටත් ඒවායින් පර්යේෂණ කටයුතු සිදුකෙරෙනවා.

අනතුරුව ඔවුන් වසර හතරක පමණ කාලයක් ලංකාවේත්, ඉන්දියාවේත් පර්යේෂණ කටයුතුවල නිරත වෙනවා. පළමුවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ රුසියානු සිවිල් යුද්ධය ආරම්භ වන නිසා, ඔවුන්ට ආපසු රුසියාවට යාමට ලැබෙන්නේ 1924 දී.

ඔවුන්ගේ ඉරණම ඛේදජනක එකක් යැයි මා මුලින් සඳහන් කළේ මානව විද්‍යා පර්යේෂණ කටයුතු වෙනුවෙන් ශාස්ත්‍රීය වශයෙන් අතිවිශාල වැඩකොටසක් සිදුකළ මොවුන් දෙදෙනා ජෝෂප් ස්ටාලින්ගේ පාලන කාලයේ දී අත්අඩංගුවට පත්වෙනවා. ඇලෙක්සැන්දර් මිහායිලොවිච් මියර්වත් 1932 දී ස්ටාලින්ගේ වධ කඳවුරක දී මරණයට පත්වෙනවා.

සිරගත කර සිටි ඇලෙක්සැන්දර් මියර්වර්ත්ගේ බිරිඳ ලුද්මිලා පසුව නිදහස ලබා දිගට ම ලංකාව පිළිබඳත්, තවත් රටවල් පිළිබඳවත් පර්යේෂණ කටයුතුවල නිරතවෙමින් සිට 1965 දී මිය යනවා. අවසාන කාලයේ ඇය සේවය කළේ මොස්කව් හි ජාත්‍යන්තර සම්බන්ධතා පර්යේෂණායතනයේ.

ශාස්ත්‍රීය පර්යේෂණවලට ඔවුන් ලබාදුන් අතිවිශාල දායකත්වයත්, එමෙන් ම, රුසියානු-ශ්‍රී ලංකා සබඳතාවලට ඔවුන් එකතු කළ කොටසත් සමඟ ඔවුන් මුහුණදුන් ඛේදජනක ඉරණම සංසන්දනය කරන විට ඇතිවෙන්නේ දැඩි සංවේගයක්.

● අවසාන වශයෙන් අපි ඔබෙන් දැනගන්න කැමැතියි රුසියානුවෙක් වන ඔබ මෙම ග්‍රන්ථයට My Sri Lanka යන නම ම යොදාගත්තේ කුමක් නිසා ද කියා ?

මේ ප්‍රශ්නය බොහෝදෙනා මවෙත යොමු කරන ප්‍රශ්නයක්. මේ පොත එළිදක්වන උත්සවයකදී ත් බොහෝදෙනා මගෙන් මේ ප්‍රශ්නය විමසුවා. ඔවුන්ගෙන් සමහරෙක් අහනවා, ‘ලංකාව ඔබේ වුණේ කොහොම ද? ඔබ මේක අයිති කරගන්න හදනව ද?’ කියල. එහෙම වෙලාවට මම උත්තර දෙන්නෙ මෙහෙමයි. ඔබට දෙන්න තියෙන්නෙත් ඒ උත්තරේම යි.

‘මගේ ශ්‍රී ලංකාව’ කියන්නේ මම මේ ශ්‍රී ලංකාව අයිතිකර ගන්න යනව කියන එක නෙමෙයි. මේ තමයි ශ්‍රී ලංකාව පිළිබඳ මගේ දැක්ම. මා ශ්‍රී ලංකාව දකින හැටි. එය මා දකින්නේ මෙම ග්‍රන්ථයේ තොරතුරු ගෙනහැර දක්වා තිබෙන පුද්ගලයන් හරහා සහ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව මේ පරිසරයෙන් මා උකහාගත් ඵලදායී හැඟීම් හරහා යි.

ඒ නිසා මම නොයක් වර කියා ඇති ආකාරයට මම ඔබටත් කියන්නේ මගේ මේ පොත කියවීමෙන් පසුව නිසැක වශයෙන් ම, ඔබ ශ්‍රී ලංකාවට ආදරය කරන්න පටන් ගනීවි. ඒ කොපමණ ද යත්, මා ශ්‍රී ලංකාවට ආදරය කරන තරමට ම ඔබත් ශ්‍රී ලංකාවට ආදරය කරන්න පටන් ගනීවි.

● සංවාදය – අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment