VAT වැඩි වීම අර්බුදයක්

1528

රටක් වශයෙන් බදු අය කර ගැනීම තුළින් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සහ ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේදවල තිබෙන සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුදිතා කරුණාරත්න මහත්මිය සමග කළ සංවාදයකි.

අපේ රට තුළ බදු අය කර ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදය පිළිබඳව ඔබට ඇත්තේ කවර අදහසක් ද?

බදු ආදායම රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ මූලික අංගයක්. ශ්‍රී ලංකා රජය සෘජු බදු සහ වක්‍ර බදු ලෙස ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් බදු අය කර ගැනීම සිදු කරනවා. ශ්‍රී ලංකාවේ බදුකරණයට ප්‍රධාන වශයෙන් ආදායම් බදු, එකතු කළ අගය මත බද්ද (VAT), භාණ්ඩ හා සේවා බද්ද (GST), විදේශ වෙළෙඳාම මත බදු, සමාජ ආරක්ෂණ දායක බද්ද, ආයතනික බදු, නිෂ්පාදන බදු සහ ආනයන බදු ඇතුළුව තවත් බදු වර්ග රාශියක් ඇතුළත් වෙනවා. බදු ප්‍රතිපත්ති කාලයෙන් කාලයට වෙනස් විය හැකි නිසා බදු ආදායම් එකතු කරන ක්‍රම ද කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්.

2015 දී ලංකාවේ මුළු බදු ආදායම රු. බිලියන 1355 ක් වූ 2022 දී එය රු. බිලියන 1751 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයින් රු. බිලියන 534 ක් සෘජු බදු මගින් හා සහ රු. බිලියන 1217 ක් වක්‍ර බදු මගින් අයකර ගෙන තිබෙනවා. 2023 වසරේ ඇස්තමේන්තු කළ මුළු බදු ආදායම රු බිලියන 2839 ක් වූ අතර ඉන් රු. බිලියන 864 ක් සෘජු බදු මගින් හා රු. බිලියන 1733 ක් වක්‍ර බදු මගින් අයකර ගැනීමට සැලසුම් කර තිබෙනවා. 2024 වසර සඳහා ඇස්තමේන්තු කළ මුළු බදු ආදායම රු. බිලියන 4107 ක් වූ අතර ඉන් රු. බිලියන 1080 ක් සෘජු බදු මගින් හා සහ රු. බිලියන 2740 ක් වක්‍ර බදු මගින් අයකර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව ලංකාවේ බදු ආදායමට වැඩි දායකත්වයක් දරා ඇත්තේ වක්‍ර බදු ආදායමයි. 2021 වසරේ මුළු බදු ආදායමෙන් 23% ක් සෘජු බදු ආදායම වූ අතර 77% ක් වක්‍ර බදු ආදායම වෙනවා. 2022 වසරේ මුළු බදු ආදායමෙන් 30.5% ක් සෘජු බදු ආදායම වූ අතර 69.5% ක් වක්‍ර බදු ආදායම වෙනවා. 2023 වසර සඳහා ඇස්තමේන්තු කළ මුළු බදු ආදායමෙන් 33.3% ක් සෘජු බදු මගින් හා 66.7% ක් වක්‍ර බදු මගින් අයකර ගැනීමට ඇස්තමේන්තු කර තිබෙනවා. එමෙන්ම 2024 වසර සඳහා ඇස්තමේන්තු කළ මුළු බදු ආදායමෙන් 28% ක් සෘජු බදු මගින් හා 72% ක් වක්‍ර බදු මගින් අයකර ගැනීමට ඇස්තමේන්තු කර තිබෙනවා.

රටක ජීවත්වන සෑම පුද්ගලයෙක්ම ඔවුන්ගේ හැකියාවන්ට අනුව එනම් භුක්ති විඳින ආදායමට සමානුපාතිකව රජය පවත්වාගෙන යෑමට සහයෝගය සඳහා දායක විය යුතුයි. එමෙන්ම බදු පැනවීමේ ප්‍රධාන අරමුණ රජයට අවශ්‍ය මූල්‍ය සම්පාදනය වුවද ඕනෑම රජයක් බදු පැනවීමේ දී අනුගමනය කළයුතු මූලධර්ම රාශියක් තිබෙනවා. මෙම මූලධර්ම වන්නේ කාර්යක්ෂමතාව, පහසුව, නිශ්චිතභාවය සහ සාධාරණත්වයයි. කාර්යක්‍ෂම බදු පැනවීමක් තුළ අපේක්ෂා කරන්නේ බදු පැනවීම මගින් රජය බලාපොරොත්තු වන අරමුණ ඉටු වූවාද නැද්ද යන්නයි. එමෙන්ම බද්දට හසුවන කිසිදු පාර්ශ්වයක් අගතියට පත් නොවිය යුතු වෙනවා. එය සාධාරණ විය යුතුයි. එමෙන්ම එය නම්‍යශීලී හා සරල විය යුතු අතර සියලු පාර්ශ්වයන්ට බදු ක්‍රමය පැහැදිලි විය යුතුයි. එමෙන්ම සෑම බද්දක්ම එම අවස්ථාවේ දී හෝ දායකයාට ගෙවීමට පහසු වන ආකාරයෙන් අය කළ යුතුයි.

රජයක් සාමාන්‍යයෙන් වැඩි බදු ආදායමක් සෘජු බදු මගින් ලබාගන්නේ නම් එම රටේ සාමාන්‍ය ජනතාව පීඩනයට පත් නොකර රජයට අවශ්‍ය ආදායම් උපයාගත හැකියි. නමුත් ලංකාවේ වක්‍ර බදු මගින් වැඩි බදු ආදායමක් අය කරගන්නා නිසා වර්තමාන ආර්ථික අර්බුධය හමුවේ බදු නිසා සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිනවා. 2019 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලට අනුව ලංකාවේ ආදායම් බද්දට යටත් වන ඉහළම ආදායම් ලබන 10% පිරිසේ සාමාන්‍ය මාසික ආදායම රු. 276,889 කි. මුළු ජනගහනයෙන් ලක්‍ෂ 22 ක් පමණ මෙම කාණ්ඩයට අයත් වන අතර ඔවුන් සියල්ල ආදායම් බද්දට යටත් වුවද දැනට ආදායම් බදු ගෙවන්නේ ලක්‍ෂ 15 ක් පමණ පිරිසකි. ඉහළම ආදායම් ලබන්නන්ගෙන් ආදායම් බදු සියල්ලම රැස්කර ගැනීමට නොහැකි වී ඇති අතර බදු නොගෙවන හා පැහැර හැරීම් කරන පිරිසක් මෙන්ම, හිතවත්කම් මත බදු නොගෙවන පිරිසක් ද සිටිනවා. මෙම පිරිස බදු දැලට හසු කරගත යුතුයි. එමෙන්ම ඉහළ ආදායම් ලබන ඊළඟ 10% පිරිසේ සාමාන්‍ය මාසික ආදායම රු. 115,742 කි. මෙම කාණ්ඩයේ අවම ආදායම රු. 97,591 ක් නිසා ලක්‍ෂ 22 ක් පමණ වූ මෙම පිරිසෙන් ආදායම් බද්දට යටත් නොවන පිරිසක් සිටින නිසා අයකර ගත හැක්කේ අඩු බදු ආදායමකි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලට අනුව 2022 දෙසැම්බර් මාසය වනවිට ලංකාවේ දරිද්‍රතා මායිම රු. 13,777 ක් වූ අතර පවුලකට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම මුදල මාසිකව රු. 55,108 ක් වෙනවා. 2023 වන විට මාසික සාමාන්‍ය ආදායම රු. 55,108 කට වඩා අඩු පවුල් ගණන විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ වක්‍ර බදු මගින් වැඩි බදු ආදායමක් අය කරගන්නා නිසා වර්තමාන ආර්ථික අර්බුධය හමුවේ අඩු ආදායම් ලබන විශාල පිරිසක් දැඩි පීඩනයකට පත්ව සිටිනවා. වර්තමානයේ වැට් බද්ද මගින් රජය විශාල බදු ආදායමක් ඉලක්ක කිරීම හරහා සිදුවන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන පුද්ගලයන්ගේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් මෙම බද්දට යටත් වීමයි. අඩු හා මධ්‍යම ආදායම් ලබන පුද්ගලයන්ගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් හෝ සමහරවිට මුළු ආදායමම පාරිභෝජන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වැය කරන නිසා වැට් බද්දට වැඩි වශයෙන් යටත් වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන පිරිසයි. 2024 ජනවාරි 1 දා සිට වැට් බද්ද 15% සිට 18% දක්වා තවත් ඉහළට දැමීම සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය පහළට ඇද දැමීමක් ලෙස තමයි මම දකින්නේ.

ලබන වසරේ මුල සිට භාණ්ඩ ආයිත්තම් විශාල ප්‍රමාණයක් සඳහා වැට් බදු අලුතින් එක් කිරීමට නියමිතයි. මෙම තීරණය සම්බන්ධයෙන් ඔබට ඇත්තේ කවර අදහසක්ද?

වර්ෂයක් සඳහා ඇස්තමේන්තු කරන ආදායම රජයට උපයා ගැනීමට නොහැකි බව දිගින් දිගටම පවතින අයවැය හිඟය මගින් පෙන්නුම් කරනවා. 2021 වසරේ අයවැය හිඟය රු. බිලියන 2058 ක් වූ අතර 2022 දී එය රු. බිලියන 2460 දක්වාත් ඇස්තමේන්තු අනුව 2023 දී රු. බිලියන 2402 ක් හා 2024 දී රු. බිලියන 2401 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මෙම කාලය තුළ රාජ්‍ය වියදම රු. බිලියන 3594 සිට රු. බිලියන 6978 දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. රජයේ වර්තන වියදම් වැඩිවීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති අතර අර්බුදයක් පවතින අවස්ථාවක රජයක් මගින් හැකිතාක් ආයෝජන වියදම් වැඩි කිරීමත් වර්තන වියදම් අඩු කිරීමත් සිදුකළ යුතු වෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ රජයකට ඇස්තමේන්තුගත ඉලක්ක වෙත ළඟා වීමට නොහැකි වී තිබෙනවා. මේ අනුව රජයට ආදායම මොනයම් ආකාරයකට හෝ උපයා ගැනීමට සිදු වී තිබෙනවා. එලෙසම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව ආදායම් ලබා ගැනීමට සිදුව ඇති නිසා අයවැය පරතරය අඩු කළ යුතු වෙනවා. එම නිසා 2024 ජනවාරි 01 වෙනිදා සිට වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කරමින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මීට පෙර බදුවලින් නිදහස් කර තිබූ භාණ්ඩ 138 න් 95 ක් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) පැනවීමට අනුමත කර තිබෙනවා. මෙතෙක් වැට් බද්ද සඳහා අයත් වූ සියලුම භාණ්ඩ වල බදු අනුපාතය 15% සිට 18% දක්වා 3% කින් වැඩිවීමත් අලුතින් වැට් බද්දට යටත් වූ භාණ්ඩ වල බදු අනුපාතය 0 සිට 18% දක්වා එකවර 18% වැඩිවීමක් සිදුවෙනවා. මෙම අලුතින් වැට් බද්දට යටත් වූ භාණ්ඩ සියල්ලම ජන ජීවිතයට ඉතා සමීප භාණ්ඩ හා සේවා වෙනවා.

2022 වසරේ වැට් බදු මගින් අපේක්ෂිත මුළු ආදායම බිලියන 463 ක් වූ අතර 2023 වසරේ වැට් බදු මගින් අපේක්ෂිත මුළු ආදායම බිලියන 680 ක් වෙනවා. 2024 දී වසරේදී එම ආදායම දෙගුණයකින් වැඩි කර ගැනීමට අපේක්ෂා කරනවා. වැට් බද්ද පැනවීම සිදුවන්නේ වාර්ෂික ආදායම මිලියන 80 ඉක්මවන ව්‍යාපාරිකයන් සඳහා. නිෂ්පාදකයා හෝ ව්‍යාපාරිකයා වැට් බද්ධ සඳහා යටත් වුවද මුළු බදු බර නිෂ්පාදකයා විසින් දැරිය යුතු නොවේ.

ඉතිරි කොටස 22 සිකුරාදා

සචිනි චතුරිකා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment