අක්‍රීය වකුගඩුව සමග නිරෝගී වකුගඩුවත් සැත්කමෙන් ඉවත් කරලා!

700

සැත්කම කළ වෛද්‍යවරයා පවුල සමගම රට ගිහින්
ළමා රෝහලේ දරුවාගේ මරණය

වකුගඩු ආසාදනයක් නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී අත්වැරදීමකින් අක්‍රීය වූ වකුගඩුව මෙන්ම නිරෝගි වකුගඩුව ද ඉවත් කිරීමෙන් අනතුරුව පසුගිය 28 වැනිදා මියගිය වයස අවුරුදු තුනයි මාස තුනක් වූ පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය 29 වැනිදා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.

කොටහේන ගුණනන්ද මාවතේ පදිංචි හම්දි ෆෂ්ලීම් නමැති දරුවා එලෙස මියගොස් තිබිණි. වෛද්‍ය නිර්දේශ මත පසුගිය දෙසැම්බර් 22 වැනිදා එම රෝහලට ඇතුළත් කළ සිය දරුවා දෙසැම්බර් 24 වැනිදා ශල්‍යකර්මයකට ලක්කළ බවත් එහිදී නරක්වූ වකුගඩුව මෙන්ම නිරෝගි වකුගඩුව ද ඉවත්කොට ඇති බවත් ඔහුගේ දෙමව්පියෝ පවසති. යළිත් වකුගඩුවක් බද්ධ කරන තෙක් රුධිර කාන්දුකරණය සිදුකරමින් මාසයකට ආසන්න කාලයක් රෝහලේ රඳවාගෙන සිටි සිය දරුවා වෛද්‍ය උපදෙස් මත නිවසට රැගෙන විත් විශේෂිත කාමරයක රඳවාගෙන රුධිර කාන්දුකරණය සිදුකරමින් සිටියදී පසුගිය මැයි 23 වැනිදා වෛද්‍ය පරීක්‍ෂාව සඳහා රෝහල් ගතකළ බවත් විෂබීජයක් ශරීරගතවී ඇති බවට ලැබුණු උපදෙස් මත එදින සිට නේවාසිකව ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී පසුගිය 28 වැනිදා දරුවා මියගිය බවත් දෙමාපියෝ පවසති.

සිය දරුවා රෝගි වූ මුල් අවස්ථාවේ සිටම එක්තරා විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේ ඔහුට ප්‍රතිකාර ලබාදුන් බවත් පෙර කී සැත්කම ඔහු විසින් සිදුකිරීමට නියමිතව තිබුණත් යම්කිසි හේතුවක් නිසා ඔහු වෙනුවට ඔහුගේ සහායක ලෙස කටයුතු කළ වෙනත් වෛද්‍යවරයකු විසින් එම ශල්‍යකර්මය සිදුකර ඇති බවත් එම වෛද්‍යවරයාගේ අත්වැරදීම නිසා සිය දරුවා මියගිය බවටත් දෙමාපියෝ චෝදනා කරති. සැත්කම සිදුකළ වෛද්‍යවරයා මේ වනවිට සිය පවුල සමඟ විදේශගතවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මියගිය දරුවාගේ දෙමාපියෝ පවසති.

ශල්‍යකර්මයෙන් පසුව සිය දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයා හෝ අධීක්‍ෂණ විශේෂඥ වෛද්‍යවරයා කිසිදු අවධානයක් සිදුකර නොමැති බව ද මියගිය දරුවාගේ දෙමාව්පියෝ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අසල මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළහ.

අධිකරණය විසින් සිදුකළ නියෝගය අනුව එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (31 දා) පැවැත්වීමට නියමිතව තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන

advertistmentadvertistment
advertistmentadvertistment