අඩු බර දරුවෝ 15.3 දක්වා වැඩිවෙලා – දකුණු ආසියාවෙන් දෙවැනි තැනට ඇවිත්

112

අවුරුදු පහට අඩු දරුවන් අතර උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සැලකීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ වඩාත් බලපෑමට ලක්වූ රටවල් අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

ලෝක බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව 2022 වර්ෂයේ දී මෙරට ළමුන්ගේ පෝෂණ මට්ටම පිරිහීමට ලක්ව ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ. 2022 වර්ෂයේ මෙරට අවුරුදු පහට අඩු ළමුන් අතර අඩුබර ළමුන්ගේ ප්‍රතිශතය සියයට 15.3 දක්වා වැඩිවී ඇත. එය 2021 වර්ෂයේ දී සියයට 12.2ක්ව පැවතුණි. මේ අතර 2022 වර්ෂයේ දී අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති හා උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය පිළිවෙළින් සියයට 9.2ක් සහ සියයට 10.1 දක්වා ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 2021 වර්ෂයේ දී අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 7.4කි. උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 8.2කි.

ආර්ථික ගැටලු හේතුවෙන් මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති අතර බොහෝ දිස්ත්‍රික්කවල ළමා මන්දපෝෂණ තත්ත්වය අයහපත් ලෙස වර්ධනය වී ඇති බව ද මහබැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ. අවුරුදු පහට අඩු දරුවන් අතර ඉහළම අඩුබර ළමුන් ප්‍රතිශතය වූ සියයට 23.9 නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. අඩුබර ළමුන්ගේ අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය සියයට 9.8කි. ළමුන් අතර වයසට සරිලන උස නොමැති ළමුන්ගේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය සියයට 22.8කි. එහි අඩුම ප්‍රතිශතය වන සියයට 5.1 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. පෝෂණ විෂමතා මැඬලීම සඳහා ඒකාබද්ධ උත්සාහයක් නොගතහොත් ආර්ථික අර්බුදය හමුවේ මෙම විෂමතාවන් තවදුරටත් උග්‍රවනු ඇති බව ද මහබැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂිත වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment