අන්නාසි මොරිල් – කොස්ගොඩ සුජී ඇතුළු පාතාලයේ 34ක් ඩුබායි සිට ගේම් දෙති

795

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මෙරට ධනවත් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබාගැනීම්, කොන්ත්‍රාත් මුදලට මිනිස් ඝාකන සිදුකිරීම් ඇතුළු දරුණු අපරාධවල නිරත වෙමින් ඩුබායි රාජ්‍ය තුළ මෙරට පාතාල අපරාධකරුවන් 34 දෙනෙකු සැඟවී සිටින බව පොලිස් බුද්ධි අංශ සිදුකළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.

මින් කීපදෙනෙකුට මේ වනවිටත් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත්කර ඇත. බහුතරයක් පාතාල මැරයෝ ඩුබායි රාජ්‍යය තුළ රහසිගත ජීවිත ගතකරමින් මෙම අපරාධ වල නිරතවෙමින් සිටිති.

පොලිස් බුද්ධි අංශ විමර්ශන වලින් අනාවරණය වී ඇති අන්දමට මේ වනවිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් ඩුබායි රාජ්‍යය තුළ අති සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ අන්නාසි මොරිල්, කොස්ගොඩ සුජී, ගිහාන් ෆොන්සේකා, සිද්ධික් නමැති පාතාල මැරයන්ය.

ඊට අමතරව හීනටියන මහේෂ්, කෙහෙල්බද්දර පද්මෙ, සීදුවේ වරුණ, අහුංගල්ලේ ලොකු පැටී සහ සංජීව, අංගොඩ ජිලේ, කංජිපානි ඉම්රාන්, මන්නා රමේෂ්, කොස්ගොඩ දිල්ෂාන්, අහුංගල්ලේ මධුෂාන් අබෲ, නදීෂ් ආබෲ, කෙසෙල්වත්තේ දනුක සහ දනේෂ්, ගණේමුල්ලේ සංජීව, ඌරගහ ඉන්දික, හීනටියන සුන්නා, ඩුබායි වරුණ නමැති පාතාල මැරයෝ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම අපරාධවල නිරත වී සිටිති.

කරන්දෙණියේ සුද්දා සහ රාජු, මිදිගම රුවන් ජයසේකර, ලෝස්ට් චූටි (හරක්කටාගේ ගෝලයන්) ඩිලාන් තරංග, නවගමුවේ ලලියා, කොලොන්නාවේ දනුෂ්ක, අංගොඩ ප්‍රියංකර, අවිෂ්ක නොහොත් කිරිකොල්ලා, චාතුර්ක පැට්ටා මංජු නමැති පාතාල මැරයෝ මෙසේ ඩුබායි රාජ්‍යය සිය වාසභූමිය කරගෙන මෙරට අපරාධ වල නිරතවෙමින් සිටිති.

මෙම පාතාල මැරයන් දිගින් දිගටම කප්පම් මුදල් ඉල්ලා මරණීය තර්ජන එල්ල කිරීම නිසා කටුනායක, මිනුවන්ගොඩ, ගම්පහ, මීගමුව, දිවුලපිටිය, ආඬිඅම්බලම, සීදුව, ජාඇල, මීරිගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයෝ සහ ධනවත් පුද්ගලයෝ දැඩි භීතියට පත්ව සිටිති.

මෙම පාතාල මැරයන්ගේ ක්‍රියාකාරකම් ඉහළ යෑම නිසා මිනුවන්ගොඩ හීනටියන කටුනායක ඇතුළු ප්‍රදේශ ගණනාවකට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යෙදවීමට ද මේ වනවිට කටයුතු කර ඇත.

පාතාල මැරයන්ගේ තර්ජන නිසා භීතියට පත්ව සිටින බොහෝ ධනවත් පුද්ගලයන් පොලිසියට පැමිණිලි නොකර පාතාල මැරයන්ට කප්පම් මුදල් ලාබාදී සිය ජීවිත බේරාගැනීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

පසුගිය කාලසීමාව තුළ දකුණු පළාතේ එකදිගට සිදුවූ මිනිස් ඝාතන සියල්ල ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙම පාතාල ප්‍රබලයන් ලබාදුන් කොන්ත්‍රාත් මත සිදුවූ ඒවා බව මේ වනවිට හෙළි වී තිබේ.

මෙම ඝාතන වලින් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් මත සිදුවූ ඒවා බව ද අනාවරණය වී ඇත.

බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන්නේ ඩුබායි හි සැඟවී සිටින මෙම පාතාල මැරයන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට හැකිවුවොත් මෙරට පාතාල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම 80% ක් අඩුකළ හැකි බවයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment