අනුරාධපුරයේදී කතක් ඝාතනය කෙරේ – අනියම් සැමියා ඝාතනයට සැකයි

102

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය නවසිරිගම ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් ඇණ කාන්තාවක් ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දේවතා පේඩිගේ රේණුකා දීපානී සෝමදාස (53) නම් තිදරු මවකි. ඇය ධීවර රැකියාව ජීවන වෘත්තිය ලෙස කරගෙන ගොස් ඇත.

පසුගිය 07 වැනිදා සවස 3.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතනයට ලක් වූ කාන්තාවගේ බාල සොයුරාගේ නිවසේදී මෙම ඝාතනය සිදුකර ඇත.

ඝාතනය සිදු වූ නිවසට පිටුපස පිහිටි නිවසේ ඝාතනයට ලක් වූ කාන්තාව ජීවත්වී සිට ඇති අතර මීට දින කීපයකට පෙර ඇය වෙන්නප්පුව ප්‍රදේශයේ සිය දියණියගේ නිවසට ගොස් පැමිණ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා මීට වසර 15 කට පමණ ඉහතදී රෝගාතුරව මියයෑමෙන් පසු ඝාතනය සිදුකළ පුද්ගලයා සමඟ වසර 13 ක පමණ සිට ඝාතනයට ලක් වූ කාන්තාව අනියම් ඇසුරක් පැවති බවත්, ඝාතනය සිදුකළ බව කියන පුද්ගලයා ද විවාහකයකු බවත්, ඔහුට ද දරුමල්ලන් සිටින බවත් පවුලේ ඥාතීන් පැවසීය.

මෙම යුවල නීත්‍යනුකූලව විවාහ නොවූව ද වසර ගණනක් එකට දිවි ගෙවූ බවත්, ජීවිතක්‍ෂයට පත් කාන්තාවගේ බාල දරුවා සමඟ එක නිවසක ඔවුන් දිවි ගෙවූ බව ද, බාල දරුවා සමඟ මීට මාසයකට පෙර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම ගැටුම සමත මණ්ඩලයට යොමු කර ඇත. ඒ අනුව

පසුගිය 07 වැනිදා සමත මණ්ඩලයේදී එය විභාගයට ගැනීමට නියමිතව තිබූවද ඒ සඳහා ජීවිතක්‍ෂයට පත් කාන්තාවගේ සොහොයුරා හා දරුවා ඊට සහභාගි වී නැත. ඝාතනය සිදුකළ පුද්ගලයා සමත මණ්ඩලයට සහභාගි වීමෙන් පසු එළැඹෙන

21 වැනිදා පැමිණෙන ලෙස දැන්වූ බව ද ඝාතකයා විසින් ඝාතනයට ලක් වූ කාන්තාවට නිවස අසලදී පවසා ඇත.

පසුව 07 දා පස්වරුවේ නිවස අසල වෙළෙඳසලකදී ද ඝාතකයා විසින් ඝාතනයට ලක් වූ කාන්තාවගෙන් ‘සමත මණ්ඩලයට යනවාද?’ යැයි විමසා ඇත. ඝාතනයට ලක් වූ කාන්තාව 21 නේ තියෙන්නේ යනුවෙන් පවසා ධීවර රැකියාවේ නිරත වීම සඳහා වැවට ගොස් නැවත ඝාතනයට ලක් වූ කාන්තාවගේ සොයුරාගේ නිවසට පස්වරු 2.30 ට පමණ පැමිණ දිවා ආහාරය ලබාගෙන නිවසේ රැඳී සිට ඇත.

ඒ අවස්ථාවේ ඝාතකයා විසින් එම නිවසට පැමිණ “ආ උඹ හොඳට ඉන්නවා නේද?” යි ඝාතනයට ලක් වූ කාන්තාවගෙන් විමසා “ඉඳපන්කෝ උඹට හොඳ වැඩක් කරන්න” යැයි පවසා ඉනේ සඟවාගෙන සිටි කිනිස්සකින් නිවසේ සාලයේදී එම කාන්තාවගේ පපු ප්‍රදේශයට හා ශරීරයේ ස්ථාන කීපයකට ඇණ බරපතළ තුවාල සිදුකර ඇත.

බරපතළ තුවාල ලැබූ කාන්තාව රාජාංගනය යාය 05 ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය ජීවිතක්‍ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි ජීවහස්ත සිරිසේන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ පොලිස් පරීක්‍ෂක විමලසේන මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.
සී. ඇම්. ආරියපාල – තඹුත්තේගම හා තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment