අනුරාධපුර ජුසේතුමාණන්ගේ දෙව්මැඳුර

348

අනුරාධපුර රදගුරු පදවියේ ආසන දෙව්මැඳුර ශාන්ත ජුසේ මුනිදුන්ට කැපකර ඇත. ආරම්භයේදී අනුරාධපුර කතෝලික සංඝය අයත්වූවේ යාපනය රදගුරු වසමට අයත් වවුනියාව මීසමටයි. 1893 දී යාපනය රදගුරුපදවියෙන් වෙන්කර අනුරාධපුරය වෙනම මීසමක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි. එවකට යාපනය පදවිය රදගුරු පදවිය හෙබවූ හෙන්රි ජුලෑන් මාහිමිපාණන් විසින් මෙම තීරණ ප‍්‍රකාශයට පත්කළ බව කතෝලික රජරට ඉතිහාසයේ සනිටුහන්ව තිබේ. 1918 වනවිට අනුරාධපුරයට දෙව්මැඳුරක අවශ්‍යතාවය වඩා තීව‍්‍ර වූයේ (බූරි (නි.ම.නි) පියතුමාගේ අදහස අනුව හොඳ ඉඩකඩ ඇති දේවස්ථානයක් ස`දහා අනුරාධපුර පැරණි නගරයේ 1919 ජනවාරි 14 දින මුල්ගල ඉදිකළ නව දෙව්මැඳුර 1924 ජුලි 06 දින ආසිරි ගන්වා විවෘත කරන ලද්දේ එවක යාපනයේ රදගුරු පදවිය හෙබවූ ඇල්ෆ‍්‍රඞ් ගියෝමාර් රදගුරු හිමිපාණන් අතිනි.

අනුරාධපුරය පූජා නගරයක් ලෙස රජය විසින් නම්කිරීම නිසා පැරණි නගරයේ තිබූ දේවස්ථානය ඉන් ඉවත්කර නව නගරයේ රජයේ ශික්‍ෂණ රෝහලට නුදුරු කඩපනහ වැව ඉස්මත්තේ අක්කර 16ක භූමි භාගයක නව දෙව්මැඳුර ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම 1966 ජුලි 09 දින සිදුවිය. එවකට අනුරාධපුර මීසම් සේවක මයිකල් කෲස් පියතුමා (නි.ම.නි) ඒ මුල්ගල තැබූ දේවස්ථානයේ ඉදිකිරීම නිමවී 1970 නොවැම්බර් 04 දින යාපනය රදගුරු අතිඋතුම් එමලියානන්පිල්ලේ මාහිමිපාණන් අතින් නවදෙව්මැඳුර ආසිරි ගන්වා අනුරාධපුර කතෝලික ජනතාවගේ වන්දනා කටයුතු සඳහා භාරදෙන ලදී.

අනුරාධපුර හා පොලොන්නරු දිස්ත‍්‍රික්ක එක්කර මුළු උතුරුමැද පළාතම අනුරාධපුර සසුන්පදයක් ලෙස සුද්ධාශනය මගින් ප‍්‍රකාශයට පත්කෙරිණ. මෙම නව සසුන් පදවියේ මුල් භාරකාරත්ව හෙන්රි ජෝයි ගුණවර්ධන හිමිපාණන් යටතට එසේ පත්කරන ලද්දේ 1975 දෙසැම්බර් 19 දින බවට ශාසනික තොරතුරුවල දැක්වේ.

රදගුරු පදවියක් වීම

1982 මාර්තු 18 දින උතුරු මැද පළාත රදගුරු පදවියක් ලෙස ශුද්ධාසනය මගින් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු අනුරාධපුර නව රදගුරු මීසමේ ප‍්‍රථම රදගුරු හිමිපාණන් හෙන්රි ජෝයි ගුණවර්ධන හිමිපාණන් අභිෂේක කරන ලදී. ඒ අනුව අනුරාධපුර ශා. ජුසේ දෙව්මැඳුර අනුරාධපුර පදවියේ ආසන දෙව්මැඳුර බවට පත්විය. මෙම දෙව්මැඳුරේ සියවස් ජුබිලිය 1992 මැයි 01 දින පැවැත්වීම සුවිශේෂ අතීත සිහිවටනයකි. පදවි රදගුරු හෙන්රි ගුණවර්ධන හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මීසම් සේවක ඇන්තනි ජයමාන්න (නි.ම.නි) ඇන්ඩෲ ඇන්තනි පියතුමන්ලාගේ සංවිධානයෙන් මෙම සියවස් ජුබිලිය පැවැත්වීම සනිටුහන් කරන්නේ ඉමහත් සාඩම්බරයෙනි.

අනුරාධපුර රදගුරු වසම් ප‍්‍රථම රදගුරු හිමිපාණන් වූ හෙන්රි ජෝයි ගුණවර්ධන මාහිමිපාණන්ගේ වසර 2000 අපේ‍්‍රල් 17 ස්වර්ගස්ථ විය.

ඒ අනුව රදගුරු වසමේ දෙගුරුහිමිපාණෝ ලෙස වසර 28ක් කොළඹ සහායක රදගුරු හිමි ලෙස කටයුතු කළ ඔස්වල්ඞ් ගෝමිස් හිමිපාණන් 1996 ජනවාරි 15 පදවි ප‍්‍රාප්ත වූහ. ඔස්වල්ඞ් ගෝමිස් හිමිපාණන් අනුරාධපුර රදගුරු හිමි ලෙස සිය සේවා කාලයේදී කතෝලික බෞද්ධ මුස්ලිම් ද්‍රවිඩ ජාතීන් අතර හොඳහිත සාමය සංහඳියාව ඇතිකිරීමට අනූපමේය සේවාවක් කළ බව සනිටුහන් කරන්නේ කෘතවේදීත්වය පිළිබිඹු කරමිනි. ගෝමිස් හිමිපාණන් කොළඹ පදවියේ අගරදගුරු ලෙස පදවිප‍්‍රාප්ත වීම නිසා පුරප්පාඩු වූ අනුරාධපුර පදවියේ iii වන රදගුරු හිමිලෙස නෝබට් අන්ද්‍රාදි හිමිපාණෝ 2003 නොවැ.14 දින කොළඹ අභිනව අගරදගුරු ඔස්වල් ගෝමිස් හිමිපාණන් අතින් අභිෂේක ලැබූහ. 2003 සිට මේ දක්වා අනුරාධපුර පදවියේ රදගුරු ලෙස නෝබට් අන්ද්‍රාදි හිමිපාණන් පදවි කතෝලික සංඝයේ අධ්‍යාත්මික නායකයා ලෙස අනූපමේය සේවය කරමින් පදවියේ නවෝදයක් සඳහා කරගෙන යන සේවාව අගය කරමු. අනුරාධපුර මීසමේ අනුරාධපුර ශා. ජුසේ ආසන දෙව්මැඳුර විවිධ නිකායයන් හා පදවි පූජාප‍්‍රසාදීන් වහන්සේලා පූර්ණ කැපවීමෙන් සුළුතර කතෝලික සංඝයේ අධ්‍යාත්මික කටයුතු කරති. මේ ආසන දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍යය සෑම වසරකම මැයි 01 දින කම්කරු දිනයේ අභිමානයෙන් සමරන්නේ නැතිබැරි දුගී දුප්පත් සංඝයට අවශ්‍ය සහනාධාර ද යහමින් සපයමින් බවද සටහන් කරමි. අනුරාධපුර ශා. ජුසේ ආසන දෙව්මැඳුරු පරිශ‍්‍රය අද එදාට වඩා වෙනස්කම් රාශියකට පරිවර්තනය වී ඇත. මෙම පිංබිමේ ම කොටසක් ස්වර්ගස්ථ පූජාප‍්‍රසාදීන් වහන්සේලා මිහිදන් කිරීම ස`දහා ස්ථාපිත කර තිබේ. ඩබ්. ඞී. මැතිව්, ගිල්බට් පෙරේරා, ඔගස්ටින් කාරියකරවන, රංජිත් ද මැල්, සුනිල් ගුණවර්ධන, එරික් ප‍්‍රනාන්දු යන ස්වර්ගස්ථ වූ පියතුමන්ලා මෙම භූමියේ මිහිදන් කර ඇත.

ජෝර්ජ් අයිවන් රෙක්සි
(ඬේමියන් පෙරේරා පියතුමාගේ රජරට කතෝලික දෙව්මැඳුරු පුරාණය ඇසුරෙනි.)

advertistmentadvertistment
advertistmentadvertistment