අපි මේ කුමන්ත්‍රණය හෙළිදරව් කරනවා

306

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සම්පූර්ණ කතාවෙහි සංක්‍ෂිප්තයකි මේ.

අද දින සමගි ජනබලවේග සමගි ජනසන්ධාන විපක්ෂය මඟින් ඉදිරිපත් කර තිබෙන සභාව කල් දැමීමේ යෝජනාව සාකච්ඡා කරන්නේ මහජන නියෝජිතයකු ලෙස, පරිසරවේදියකු ලෙස, සත්‍ය ගවේෂකයකු ලෙස හා හරිත පක්ෂයක නායකයකු ලෙසයි. මෙහි දී මා කිසිදු අයකුගේ චරිත ඝාතනයකින් තොරව පැහැදිලි අවබෝධයක් ලබා ගෙන රටක් ලෙස හෝ ඉදිරියේදී පැහැදිලි ගමනක් යෑමයි මාගේ අරමුණ.

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය තුළ මොකද්ද සිදු වුණේ? වායු දූෂණය, සමුද්‍රීය පරිසරය දූෂණය, නයිට්‍රික් ඇසිඩ් කෝස්ටික් සෝඩා මෙතනෝල් ආදී අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු වුණා. මේ තුළ දැවැන්ත විනාශයක් වුණා අපේ සමුද්‍රීය පරිසරයට සහ සමස්ත පරිසරයට, ධීවරයන්ට, ජීවනෝපායට ජෛව විවිධත්වයට හානි වුණා.

මීට පෙර දැවැන්ත ඛේචවාචකයක් වුණා. ඒ නිව් ඩයමන්ඩ් එක. ඒක වුණේ 2020 සැප්තැම්බර් මාසයේ. එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය වුණේ 2021 මැයි මාසේ. මාස කිහිපයකට පෙර සිදුවූ ඛේදවාචකය තුළ සමුද්‍රීය පරිසරය සුරක්ෂා කිරීමට ඉගෙන ගත යුතු පාඩම් ඉගෙන ගත්තාද? ඒවා ක්‍රියාත්මක කළා ද? අදත් අපි දුටුවා මේ විවාදය පටන් ගත්තේ පැය ගණනක් ප්‍රමාද වෙලා. මං එය පිටුපස සිටින කුමන්ත්‍රණයත් හෙළිදරව් කරන්නම්.

ලෝකයේ බොහෝ රටවල් පරිසර කේන්ද්‍රීය සැලසුම්, හරිත රාජ්‍ය, හරිත ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කරනවා. ඒත් අපි හරිත ආර්ථිකය හරිත රාජ්‍ය කියන්නේ වචනයක් විතරයි. අපේ රටේ පරිසරයට දීලා තිබෙන්නේ නාමික තැනක්. ඇමැතිකම් බෙදා දීමෙන් එය වඩාත් පැහැදිලියි. එක් අයෙක් පරිසර ඇමැති. තව කෙනෙක් වනජීවී ඇමැති. සමුද්‍රීය පරිසර අධිකාරිය තියන්නේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ. එදා ගෝඨා කළ විදිහට අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරනවා. කිසිම විද්‍යාත්මක බවක් නැහැ.

නිව් ඩයමන්ඩ් සිදුවීමෙන් පසු අනාගතයේ දී මෙරට සමුද්‍රීය පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් ගත් පියවර මොනවාද? මොනවද උගත් පාඩම්, ක්‍රමෝපාය වෙනසකම් මොනවාද? එතනින් පසු ඇගයීමක් කළේ නැද්ද? අපිට වැරදුන තැන ගැන හෙව්වද? මේ ගැන ප්‍රශ්න තිබෙනවා.

දැන් කිහිප දෙනෙක් එක්සෝන් වැල්ඩීස් ගැන ඉදිරිපත් කළා. මේ ගැන පමණක් නොව ටෝරි කැනියන් ඛේදවාචකය ඇතුළු ලෝකයේ සිදුවූ ඛේදවාචක ගැන කියවා බැලුවා නම් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් රටට ලබාගත හැකි උපරිම වන්දිය ගන්න පුළුවන් වාසිදායක ක්‍රමවේදය හොයා ගන්න තිබුණා. නමුත් මේ රජයේ ක්‍රියාකලාපය දෙස බැලුවම ඛේදනීයයි සෝචනීයයි. අනුගමනය කර තිබෙන්නේ වැරදි ක්‍රමයක්.

මේ ආණ්ඩුව නිව් ඩයමන්ඩ් ඛේදවාචකයෙන්වත් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන්වත් පාඩම් ඉගෙන ගත්තේ නෑ. අවිධිමත් ප්‍රතිපාදන නැති දැනුම නැති තාක්ෂණය නැති ගමනක් තමයි ගියේ. ඒ වුණාට කියන්නේ සුහුරු ආණ්ඩුවක් සුහුරු රජයක්ලු. සුහුරු කියන්නෙත් වචනයක් විතරයි දැන්. ගෝඨාභය ජනාධිපතිවරයාත් එහෙමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් එහෙමයි. මේ ගැන කතාව විතරයි ක්‍රියාව නැහැ.

අපි හැමෝම දන්නවා මේ කාන්දුවක් සිදුවෙනවා කියලා ජාත්‍යන්තර වරාය 2ක් ප්‍රතික්ෂේප කළ නැව අපේ රටට ආවේ කොහොමද? කවුද ඒක කළ දේශද්‍රෝහියා.

පහුගිය කාලයේ දේශප්‍රේමී ජනතවාදී රටට ආදරය කරනවා කියලා. ඒ නිසා දැන් කියන්න කවුද මේක අපේ රටේ කලාපයට ගෙනාවේ. කවුද? අපිට දැනගන්න ඕන. මේ විවාදය නතර කරන්න හැදුවා අධිකරණ කටයුතුවලට බලපෑම් වෙයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ.

ලෝකයේ ශ්‍රේණිගත කිරීම් අතර අපේ වරාය ඉහළ තැනක තිබුණත් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය වෙනකොට ප්‍රමාණවත් කාබන්ඩයොක්සයිඩ් තිබුණද? නොතිබුණා නම් කාගෙද ඒ වගකීම? මේ රජය ප්‍රමුඛතාව දුන්නේ පරිසර සංරක්ෂණයට නොවේ. නැව ගලවා ගන්න.

කවුද මේ හානියට පත් නැවේ යම් යම් අවස්ථාවල කොටස් ආපහු රැගෙන යන්න අවසර දුන්නේ කවුද? කවුද කිව්වේ මෙහෙම ගෙනියන්න පුළුවන් කියලා. කවුද ඒකට වගකියන්නේ. ඒ රක්ෂණ සමාගම විසින් ඉදිරිපත් කළ කොන්දේසි මීපා එක දන්නෙත් නෑ. මීපා එකේවත් නෑ. ඇයි මීපා එකට ඒ සඳහා අවසර නොදුන්නේ. මේ කරුණු මොනවාද? කොන්දේසි මොනවාද? අවම වශයෙන් අධීක්ෂණ කාරක සභාවටවත් දීලා නෑ ඒක. මම කියන්නේ මෙම රටට වාසි දෙයක්. මම කතා කරන්නේ නැව් කාරයාගේ පැත්තෙන් නොවේ රටේ ජනතාව ගැන හිතලා. මේකයි නතර කරන්න හැදුවේ. අපි හැමෝගේම කතා නතර කරන්න හැදුවේ මේ අය. මේ කොන්දේසි ගැන මීපා එකෙන් හැංගුවෙ කවුද?

විශේෂඥයන් 42කින් යුත් කණ්ඩායමක් හානි තක්සේරු කළා ඩොලර් බිලියන 6.4ක්. මේ හානි තක්සේරුව කරනකොට නැව් අයිතිකාරයෝ නීතියක් දැම්මා නැව වටේට මීටර් 500ක සීමාවට ඇතුල් වෙන්න බෑ කියලා. ඇතුල් වෙන්න දුන්නා නම් අපේ අයට මේ මුදල මීට වඩා වැඩි වෙනවා. මෙතන කුමන්ත්‍රණයක් තිබෙනවා. කාගේ බලය අතට අරගෙන ද එයාට ඕන ඕන විදිහට නැව් අයිතිකාරයා කටයුතු කළේ. මේ දේශසීමාව අපේ. කාටවත් එහෙම සීමා දාන්න බෑ. මේ අදිසි හස්තය අනාවරණය කරන්න.

ඒ වගේම අයි. ටී. ඕ. පී. එෆ්. එකෙන් තාක්ෂණික උපදෙස් ගත්තා. ආංශික අධීක්ෂණ කාරක සභාවට කිව්වේ එයාලා කිව්ව විදිහටලු කළේ. නැව් කාරයෝ ඉන්න නැව් කාරයොන්ගේ සල්ලිවලින් පෝෂණය වන සංවිධානයකින් තාක්ෂණික උපදෙස් ගත්තේ මොළයක් ඇතුවද?

ඒ වගේම නඩු පැවරීමේ කටයුත්තට සමාගම් හොයපු ආකාරය ගැන කිව්වා. ඇමැතිවරයා ප්‍රසම්පාදන යොදා ගත්තා කියලා හිතනවා. එතුමාගේ වචනය භාර ගන්නවා මම. එතුමා හරි දේ කළා කියලා හිතනවා. හැබැයි මම එක දේකට එකඟ නැහැ. සමුද්‍රීය පරිසර ඛේදවාචක ගැන අපිට දැනුම නෑ කියන එකම බොරුවක්. රටේ ජනතාව රැවටීමක් ඒක. අපිට ඒ හැකියාව තිබෙනවා. අපිට සම්පත් ඉන්නවා. අපේ රටේ විශේෂඥයෝ සහ විදෙස් විශේෂඥයෝ සම්බන්ධ කරන්න තිබුණා. ඒත් එහෙම කළේ නැහැ.

මේක පරිසරය සම්බන්ධ දෙයක් වුණත් උත්තර දෙන්නේ අධිකරණ ඇමැති. පරිසර ඇමැති ගෑවිලාවත් නැහැ. මීපා එකත් තියෙන්නේ යූඩීඒ යටතේ. අලි සබි්‍ර ඇමැතිතුමා කිව්වා විශේෂඥයොන්ට තැන දෙන්නලු. එයාලගෙන් අහලලු මේක කළේ. ඒ වුණාට 2019 ජනාධිපතිවරයෙන් පසු ලක්ෂ 220ම පෙති ගිලල තමයි රටට මෙහෙම වුණේ. ඒ පෙති දුන්න අයම කියනවා දැන් ආයේ මේ වගේ කතා. රජය දෙන මේ බෙහෙත් තුන්ඩු ගැන නම් අපිට සැකයි. ඔවුන්ගෙන් පෙත්ත ගිලලා රටම නන්නත්තාර වුණා. අපිට අයිතියක් තිබෙනවා ප්‍රශ්න කරන්න.

මම කිව්ව දේවල් නඩුවට නරකට බලපානවා ද කියලා කියන්න. මම දන්න තරමින් මේ කරුණු නිසා වන්දි මුදල වැඩි වෙනවා විතරයි වෙන්නේ.

දැන් මේ අය කිව්ව දෙයක් තමයි ඇමෙරිකාවේ සුබේරි කියන මිනිහට මේ රටේ ජනතාවගේ බදු සල්ලිවලින් ඩොලර් ගෙව්වා රටේ ප්‍රතිරූපේ හදන්න. අන්න සුබේරි ඇමෙරිකාවේ හිර ගේක ඉන්නවා. මහ ලොකුවට දේශීයත්වය ගැන කතා කළ අය රටේ විශේෂඥයෝ විශ්වාස නැති වුණාට අපිට විශ්වාසයි.

මේ නඩුව පවරන්න පුළුවන් හොඳම රට මොකද්ද? මේ ගැන රටට නොකියන දෙයක් තිබෙනවා. අපේ රට සමුද්‍රීය පද්ධතියේ මහා විනාශයක් වුණාම ඒකට වන්දි ඉල්ලීමේ සීමා පනවන සම්මුතියක් තිබෙනවා. ඒකට අපි අත්සන් කරලා නැහැ. සිංගප්පූරුව අත්සන් කරලා. මේ නඩුව පවරන්නේ එවැනි රටක. මේකට අයින්ස්ටයින් සොක්‍රටීස් වෙන්න ඕන නෑ. ජාත්‍යන්තරව සමුද්‍රීය වන්දී සීමා පනවන රටක නඩුව දාන එක අපිට වාසි ද කියලා ඔබම හිතන්න. පෙර පාසල් දරුවාට වුවත් මේක තේරෙනවා.

මේ නැව් සමාගම එක්සත් රාජධානියේ නඩුවක් දාලා මේ වන්දිය සීමා කරන්න. ඩොලර් මිලියන 26කට 27කට වන්දිය සීමා කරන්න හදනවා. එහෙම තත්ත්වයක් තිබිය දී හැමෝටම තේරෙනවා නැව් සමාගම කරන දේ. මේ නැව් සමාගම එන්නේ ධීවරයන්ට පොඩි මුදලක් දීලා ඉතුරු ටික සොච්චමක් දීලා ෂේප් වෙන්න. අපි විරුද්ධ මේකට. අපිට ඕන නැව් සමාගම කරන කුමන්ත්‍රණකාරී ක්‍රියාව පරාජය කරලා ඩොලර් බිලියන 6.4 වැඩි කර ගන්න එක.

අපි සෛරී රටක් කිව්වට නැව් සමාගම සීමා දානවා නැවට. එතනින් පිටත සිට තමයි ඩොලර් බිලියන 6.4ක වන්දියක් තීරණය කළේ. හරියට පරීක්ෂණය කළා නම් මේ වන්දි මුදල වැඩි වෙනවා. මේ බිලියන 6.4 කියන්නේ අයි. එම්. එෆ්. එකේ කාර්තු 8කින් ලැබෙන මුදල වන ඩොලර් බිලියන 2.9ක ණයටත් වඩා වැඩි ප්‍රමාණයක්. මේ කියන විදිහට 6.4ක් වුණත් අපි 225ම මේකට එකට කෑ ගැහුව නම් ඔවුන් වරදක් කළා කියලා කිව්වා නම් මේ වන්දි මුදල වැඩි කර ගන්න තිබුණා. අපි සටන් කළ යුතු යි.

ඒ වගේම මේ නැව් සමාගමේ දේශීය නියෝජිතයාගේ ඊමේල් මැකිලලු. මේක ගැටලුවක්. මේ ගැන ඊයේ ආංශික කාරක සභාවේ ප්‍රශ්න කළාම ඔවුන් කොටස් 4ක් යටතේ මෙය විග්‍රහ කරනවා කිව්වා. ගිනි ගැනීම, නැව ගිලීම පශ්චාත් නැව ඉවත් කිරීම වැනි කොටස් තිබෙනවා. ඒත් හරියට කළ යුතු පරීක්ෂණ කරන්න අවස්ථාව දීලා නැහැ. අපිට ඕන වුණේ මේ කරුණු ඉදිරිපත් කරලා බිලියන 6.4 වැඩි කරගත යුතු යි. නඩුවට කිසිම අගතියක් නැහැ. නැව් අයිතිකරුගේ නින්දිත නිවට ක්‍රියාදාමයක් නිසා අපිට හිමිවිය යුතු සම්පත් අහිමි වෙනවා.

මේ ගැන ප්‍රධාන නිගමන කිහිපයක් මම කියන්නම්. කැමතිනම් පිලිගන්න. කැමතිනම් සුපුරුදු ක්‍රියාවෙන් විහිලුවට ලක් කරන්න. කමක් නැහැ. වහාම ක්‍රියාත්මක වන පරිදි මීපා, වන සංරක්ෂණ, වන ජීවී, පරිසර වැනි ආයතන එක තැනක තිබිය යුතු යි. ඒ වගේම මෙවැනි දෙයක් වෙන කොට ජනාධිපති කාර්ය සාධන බළකායක් හැදිය යුතු යි. ඒ ජනාධිපතිගෙන් වුණෙත් නෑ, මේ ජනාධිපතිගෙන් වුණෙත් නැහැ.

ඒ වගේම අපි හිටපු අධිකරණ ඇමැතිතුමා කිව්වා විශේෂඥ කමිටු 5ක් පත් කළා කියලා. 1 වැනි සාකච්ඡාවට මාත් කැඳෙව්වත්, ආයෙත් කැඳෙව්වේ නෑ. එදා කියපු දේවල් තමයි මම අදත් මේ කියන්නේ. ජනාධිපති කාර්ය සාධන බළකායක් හිතන් නැතිවූ හිටපු ජනාධිපතිවරයා කළේ ජාතික සමගිය බිඳින කාර්ය සාධන බළකා ඇති කරන එක.

ජාතික පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් අපිට නැහැ. එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් පවා මෙය කියනවා. අපිට සමුද්‍රීය ව්‍යසනයක් සිදු වුණොත් කරන්න දෙයක් නැහැ.’ ඇත්ත කතා කරනවා නම් නිර්ව්‍යාජ නිවැරදි නීති ක්‍රියාමාර්ගයකට යා යුතු යි. අපි රාජ්‍ය නිලධාරීන් හොරු කියන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු හැම දෙපාර්තමේන්තුවක්ම රට වෙනුවෙන් හරි විදිහට කරයි කියලා හිතනවා.

රට බංකොළොත් කරලා එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයකුත් ඇති කරලා ඒක අපිට වන්දි පැත්තෙන් රිදී රේඛාවක් කරන්න පුළුවන් මොහොතක අපි මේ ගන්න ක්‍රියාමාර්ග තුළින් ගොඩ ඒමට හැකිය කියා අහනවා. ධීවරයන් විනාශ වුණා. අරුම පුදුම කතා කියනවා. පොඩි සීමාවක්ලු විනාශ වුණේ. වෙන්නප්පුව හලාවත ධීවරයන්ට මුදල් ලැබුණේ නැහැ.

ධීවරයෝ අපිට විශාල දායකත්වයක් සපයනවා. රටේ හැම පැත්තකටම ධීවරයෝ දායක වුණා. සංචාරක ක්ෂේත්‍රයට සිදු වූ හානිය තක්සේරු කරලත් නෑ. මාර ස්මාර්ට් රටක් මේක.

රජයේ මේ දුර්වල ප්‍රතිපත්තිය සඟවන්න විවිධ දේවල් කියනවා. නාලක ගොඩහේවා මැතිතුමා සම්බන්ධ කර ගෙන ව්‍යාජ කතා හදනවා. ඔහු මේකට මුල් වුණ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාදාමය තුළ ඔහු කඩකළ වගකීම මොනවාද? ව්‍යාජ කතා කිය කිය රට රවට්ටනවා. ඒ නිසා ව්‍යාජ කතා නොකියා නිවැරදි විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළකට යන්න.

advertistmentadvertistment
advertistmentadvertistment