අරගලයේ ඉල්ලීම් ඉටුකරන්න අසමත් ජනපති වරද  අපට දානවා – කුමාර් ගුණරත්නම්

108

අරගලයේ ඉල්ලීම් ඉටුකිරීමට අපොහොසත් වනවිට එහි බලපෑම පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිට පැටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බව එම පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (07 දා) පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අරගලය ප්‍රචණ්ඩත්වය කරා යොමු කළ බවට ජනාධිපතිවරයා කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කීවේය.

රට තුළ සාමකාමී අරගලයක් ඇති වූයේ ජනතාව ආර්ථික පීඩාවෙන් පෙළීම නිසා බවත්, එයට විසඳුම් දී ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවට වෙනත් අයට චෝදනා කිරීම තරයේ හෙළාදකින බවත් ඒ මහතා කීය.

අරගලයට එක්වූයේ රටේ සාමාන්‍ය ජනතාව බවත් ඔවුන් ප්‍රචණ්ඩත්වයට යොමු කරනු ලැබුවේ අරලියගහ මන්දිරයෙන් එල්ල වූ ප්‍රචණ්ඩත්වය බවත් ගුණරත්නම් මහතා පැවසීය. තවමත් ආණ්ඩුවට ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීමේ උත්සාහයක් නොමැති නිසා එයට එරෙහිව නැගී සිටින නායකයින් මර්දනය කිරීමට උත්සාහයක් දරන බවට පෙනීයන බවත් ඒ මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප 76 වැනි සමුළුවේදී අරගලය ප්‍රචණ්ඩත්වයට යොමු කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි නැගූ චෝදනාවට පිළිතුරු දීමට කොළඹදී ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගුණරත්නම් මහතා මේ බව කීවේය.

මෙම අවස්ථාවට එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරු ද එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment