අලුත් අවුරුද්ද අභියෝගයක් වන්නේ මුදලින් ප්‍රශ්න විසඳන්නට යෑමෙන්

490

ඡායාරූපය අන්තර්ජාලය ඇසුරෙනි

අභියෝග රාශියක් මැද බක්මහ මංගල්ල්‍යය උදාවේ. සැබැවින්ම ඒ සියල්ල අභියෝග බවට පත්ව ඇත්තේ බක් මාසයේ අරුත නොදත් හෙයිනි. සාම්ප්‍රදායික සමාජයේ ඇති සරල ජීවන දර්ශනය තුළ වර්තාමාන පුරවැසියා මූණ දී ඇති අභියෝග සියල්ලට විසඳුම ගම්‍ය වේ. අලුත් අවුරුදු චාරිත්‍ර ගොඩනැඟී ඇත්තේ ඒ සරල ජීවන පැවැත්ම අර්ථගැන්වෙන ආරම්භය හැටියට ය. වාණිජ අරමුණුවලට කොටුවී ආර්ථි අර්බුදයක් කරගපින්නාගෙන සිටින අපට අවුරුදු සැමරුමට සම්පත් නැතැයි සිතන ඒ හීනමාන චින්තනය පුස්සකි.

ගහකොළ යළි හරිත පැහැ සළු පළඳී: මල් පුබුදුවමින් ගවසා ගනී: විහඟුන් කැඳවා ගනී: වසන්ත අසිරියකි. ඒ මිනිසාට අලුත් පණිවිඩයක් දෙමිනි. එම පණිවිඩය එක් අතකින් සරල බවය. අනෙක් අතින් සහජීවනයයි. ප්‍රධාන සහජීවනය මිනිසා හා පරිසරය අතර ගොඩනැඟේ. සමාජයේ සහජීවනය රැකෙන්නේ සංස්කෘතිය, සන්නිවේදනය හා සදාචාරය මත ය. මෙනිසා ම සූර්ය මංගල්ලයත් ආගමික චාරිත්‍රත් යන දෙකෙන්ම දෙන සන්නිවේදනාර්ථය වටහා ගැනීම වැදගත් ය.

ඕනෑම සමාජයක පැවැත්ම ඇත්තේ රජය පනවනු ලබන නීතිය මත නොව ඒ සමාජය විසින් පවත්වාගෙන යනු ලබන සාරධර්ම මත බව සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලින් පිළිබිඹු වේ. අපේ සමාජය පරිසරයෙන් ඈත්ව, චාරිත්‍ර වාරිත්‍රවලින් බැහැරව, නෑ සබඳකම්වලින් දුරස්ව ගෙවන ජීවන රටාවේ අන්තයටම පැමිණ ඇත. අර්බුදය ඇත්තේ ආර්ථිකයේ නොව චින්තනයේ ය.

ජීවිතයක ගත වූ දින තුන්සිය හැටපහක් ගැන පසු විපරම් කර තමාගේ යුතුකම් හා වගකීම් ඉටු කළේ ද යන්න සිතා බලා තවත් දින තුන්සිය හැටපහකට සූදානම් වීමට ආශිර්වාද ලබා ගැනීම ලෙස අපට අලුත් අවුරුද්දේ හරය හඳුන්වන්නට පුළුවන. සාම්ප්‍රදායික සමාජයේ නම් අලුතින් අස්වැන්න ගෙට ගෙනැවිත් ගේ දොර අලුත්වැඩියාකර, අලුතින් රසකැවිලි හදා, අලුත් ඇඳුම් ඇඳ, මිතුරුකම් අලුත් කරගෙන ආදි වශයෙන් භෞතිකව හැම අතින්ම අලුත් වී අලුත් වසරට සැරසෙනු ඇත. නිර්මාණශීලීව භෞතික දේ අලුත් කරන්නා සේම මිනිසාගේ මනස ද අලුත් කිරීම අප මෙහි දී කළ යුතු දේ ය. මිනිසුන් ශරීරය පිරිසිදු කරගෙන ගේ දොර පිරිසිදු කරගෙන කරන්නා වූ වෙනස මෙන්ම මනසත් අලුතින් පිරිසිදු කරන්න මෙම බක්මහ නිමිත්තක් කරගැනීම අවශ්‍යය.

තමන්ට උපකාර කළ අයට තමන් කෘතවේදීත්වය දැක්විය යුතු බව බුදුන් සත් සතිය ගතකිරීමෙන් පෙන්වා දුන් දෙයයි. එනම් අජීවී වස්තූන්ට පවා ජීවී පුද්ගලයන් ගරු කිරීමේ වැදගත්කමයි. ඒ ඇසුරින් අප ද අලුත් අවුරුද්ද ලබන අවස්ථාවේ දී පසුගිය වසරේ තමන් කළ හොඳ නරක ගැන චරිත සහතිකයක් තනාගෙන පෞරුෂය ගොඩනඟා ගැනීම කළ හැකිය. මේ අවස්ථාව ආදර්ශමත් පුද්ගලයකුට හැදෙන්න අවස්ථාවකි. නැතහොත් පසු විපරමක් හා පෙර විපරමක් කිරීමට හොඳ අවස්ථාවකි. ගස්වැල් දලුලා සොබාදහම පවා අලුත් යුගයකට සැරසෙන මොහොතකි මේ. එනම් සොබාදහම පවා අලුත්වීමට නැතහොත් ඉදිරි වසරක් සඳහා සූදානම් වීමට කටයුතු කරන අවස්ථාවකි. එය දාර්ශනික අදහස් ප්‍රකාශ කරන්නක් වේ. එනම් වෙලාවට වැඩ කිරීම, වෙලාවට අවදිවීම, අකුරුකීම, ආහාර ගැනීම ආදී කාලය හා අවකාශය ජයගැනීම සඳහා මිනිසා පුරුදු පුහුණු කිරීමට දෙන අවස්ථාවකි.

කාල විපත්වලින්, රෝග බියෙන් හා අගහිඟවලින් හෙම්බත් වූ වර්තමානයේ අලුත් අවුරුදු චාරිත්‍රවලින් පිළිබිඹුකරන ඒ දාර්ශනික අදහසට අප අනුගත විය යුතු ය. අවුරුදු චාරිත්‍ර මාලාව පුරාම ඇත්තේ ස්වභාදහමට අනුගත ජීවන රටාව හා ස්වභාව ධර්මයේ ශක්තිය ජීවිතයට ළංකර ගැනීම යන කරුණු ය. රාවණා යුගයේ සිටම මේ රටේ සූර්ය මංගල්ල්‍යය සමරා ඇති බව ඉතිහාසය කියයි. බුදු දහම ආසියාවේ ස්ථාපිත වීමත් සමඟ බෞද්ධාගමික නැඹුරුවකින් වඩාත් අර්ථවත්ව බක්මහ උළෙල සමරනු ඇත.

අවුරුදු නැකත්වලින් කියැවෙන්නේ එක් අතකින් වෙලාවට වැඩ කිරීම ය. එය ඉලක්කයක් අරමුණක් හා අධිෂ්ඨානයක් ඇතිව කටයුතු කිරීමට මඟ පෑදීම ය. භව භෝග ඇති කලට කා බී විනෝදවීම පමණක් සුදුසු නොවේ. ඒ නිසාම සාගතයකට අත නොවනා, තමන් කරන කර්මාන්තය සිහියේ තබාගැනීම හා එයට ප්‍රමුඛත්වය දීම මෙහි අදහස ය. අනෙක් අතට තම වෘත්තීයට ගරු කිරීම හා එහි අගය රැක ගැනීම මෙයින් කියයි. එසේම පරණ අවුරුද්දේ වැඩ නිමාකරන්නේ ද තම වෘතියට අදාළ මෙවලම් සියල්ලට විවේකයක් දී ඒවාට පවා ගරු කිරීමෙනි. නැකතක් නොමැති වේලාව නොනගතයයි. නොනගතයේදී වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නියැළීමෙන් සිත සැනසීමත්, ආධ්‍යාත්මික ශක්තිය ලබාගැනීමත් සිදුවේ. එමෙන්ම අන්තරායන්ගේන් මිදීමද ජ්‍යොතීර්වේදයට අනුව අදහස් වේ.

පරිසරයේ ඇති සියලුම ශක්තීන් සූර්යයාගේ ය. නැකතට ලිප ගිණි මෙළවීම සූර්යයාගේ ශක්තිය නිවසට කැන්දා ගැනීමකි. අතීත සමාජයේ ලිපේ ගින්දර නොනිමා තබාගැනීම අවශ්‍යම කරුණකි. එය ආහාර වේල හා බැඳී පවතින්නකි. ඒ පණිවිඩය අවබෝධ කරගෙන අප අදත් ලිප හා ගින්දර ගැන ගෞරවයෙන් හා තිරසාර පදනමින් කටයුතු කළේ නම් වර්තමානයේ ගෑස්, විදුලිය වැනි අස්ථාවර බලශක්ති ප්‍රභවයන් මත මේ තරම් වද විඳින්නේ ද? ලිපක් තනාගන්නට බැරි නිවසක්, දර කැබැල්ලක් කඩාගන්නට බැරි ගෙවත්තක් තනාගෙන දුක් විඳී ද?

කෘෂිකාර්මික සමාජයේ වැඩ ඇල්ලීම යනු සොබාදහමට අනුව වගාකිරීම ය. අනෙක් අතින් ආර්ථික වර්ධනය වෙනුවෙන් කායික මානසින ශක්තීන් වැඩිකර ගැනීම ය. සිය වෘත්තියට ඇති වගකීම හා ගෞරවය ඉන් ප්‍රකාශ කෙරේ. සෑම කෙනකුම කෘෂී උපකරණවලින් කුමක් හෝ වැඩ කරන සමාජයක් නම් එම සමාජය ස්වයං පෝෂිත ය. අනුන් මත නොයැපෙන නිසා ඒ ඒ භෝගවල මිල ඉහළ යන විට පීඩාවට පත්වන තත්ත්වයන් ඇති නොවේ. අප හිරමනය, කැත්ත, උදැල්ල අමතක කළ ජාතියක් බවට පත්වී හමාර ය. ඒ නිසාම නාගරික යටිතල පහසුකම් අඩුවූ විට අප නිරන්තර අහාර හිඟයකට පත්වේ: දෛනික ජීවිතය කඩා වැටී සියල්ල අභියෝග යැයි සිතනු ඇත.

නැකතට ආහාර ගැනීම යනු සෘතුව අනුව, ඖෂධීය ගුණය අනුව හා සෞඛ්‍ය සම්පන්න භාවය රැකගැනීම අනුව පෝෂණය වීම ය. අලුත් අවුරුදු මේසයේ ආහාර පිළියෙලකර ඇත්තේ ඒ සෘතුවට අදාළ ඖෂධීය ගුණ අනුවය. කිරි බතට තල හෝ මුං ඇට ආදී ධාන්‍යයන් මිශ්‍ර කරන්නේ එම සමයේ පරිසර උෂ්ණත්වයට වැඩි නම් ශරීරය සිසිල් කිරීමට ය. දේශීය සංස්කෘතිය අනුව වේලාවට ආහාර ගැනීමෙන් බොහෝ ලෙඩ රෝගවලින් මිදීමට හැකි ය. වර්තමානයේ මෙවැනි චාරිත්‍ර කඩන නිසාම ආමය, ගැස්ට්‍රයිටීස්, පිළිකා, දියවැඩියාව වැනි රෝගබාධ බහුල බව සිතිය හැක. ජනයාට පරම ලාභය ගැන සිතීමට තැන එය ය.

නැකතට ගමන් බිමන් යෑම අනතුරුවලින් වැළකීම හා සුබ ඵල ලබාගැනීමේ මඟය. “අවේලාවේ වීදි සංචාරය” වැනි විපත් කැඳවන අවදානම්වලින් මිදීමේ මඟ පෑදේ. විශ්වයේ ඇති ග්‍රහ තාරකාවන්ගේ බලපෑමෙන් අනතුරු වැළැක්වීම ද එක් අදහසකි.

නැකතට ස්නානය කිරීම, හිසතෙල් ගෑම ආදී අංග සපුරාම සෞඛ්‍ය සම්පන්න වීමේ ව්‍යායාමය යි. හෙළ වෙදකමට අනුව අවේලාවේ ස්නානය යනු තුන්දෝෂ කුඛිත කරන්නකි. ඖෂධ ගුණයක් ශරීරයට එක්කර ගැනීමෙන් නීරෝගීභාවය ගෙනදීමේ පාඩම නැකතට ස්නානය කිරීමෙන් කියාදෙයි. එවිට අලුත් අවුරුද්දට පසුවදා වෛද්‍යවරුන් සොයායෑමට අවශ්‍ය නොවේ.

මේ නැකත් සඳහා සූදානම්ව කටයුතු කරන විට අනෙක් සංස්කෘතික දායාද සියල්ල ඊළඟ පරපුරට නිතැතින් උරුම වේ. වැඩිහිටි කාන්තාවන් කැවිලි පිළියෙල කරන විට තරුණියෝ ඉවුම් පිහුම් හා දෑතේ වැඩ උගෙනිති. සාමකාමීව අන්‍යොන්‍ය සහයෝගයෙන් වැඩකරන හැටි පුරුදුවෙති. සහජීවනය දැනෙති. අවුරුදු ජන ක්‍රීඩා ආදී සියල්ල තුළ ද කුසලතාවයන් ඇති කිරීම මෙන්ම සාමකාමී බව පුරුදු පුහුණු කෙරේ. නැකතට ගනුදෙනු කිරීම, ළිඳ සමඟ ගනුදෙනු කිරීම ආදිය සහජීවනයේ පදනම වන අන්‍යොන්‍ය ගරුත්වය හා කෘතගුණ සැළකීමයි. මෙලෙස අවුරුදු සමය සමාජයේ සදාචාරය ප්‍රගුණකරන පාඩමකි. මේ සියල්ල සංවිධානය වන්නේ පරිසරය රසවිඳින ගමන් ය. ඒ තුළ අර්ථවත් කෙරෙන සරල ජීවන පැවැත්ම අප උගෙනිය යුතු ය. එහෙත් බහු පාරිභෝජන සමාජ රටාව, නාගරීකරණය හා බටහිර කරණය අපේ මේ සියලු හර පද්ධතීන් ඩැහැගෙන තිබේ. අවුරුදු සැමරුම් මාධ්‍ය ආයතනවල වුවමනාවට කෙරෙන වෙළෙඳ සැණකෙළි පමණකි. මෙනිසා සැබෑ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීම සහ සහජීවනය වර්තමානයට බෙහෙවින්ම අවශ්‍ය නිපුණතාවය බව කිව යුතුවේ. සහජීවනය තුළ ආර්ථික ප්‍රශ්න පොදුවේ විසඳා ගැනීමක් ද සිදුවෙයි.

අලුත් අවුරුද්ද අභියෝගයක් වන්නේ මුදලින් ප්‍රශ්න විසඳන්නට යෑමෙන්

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment