අවන්හලකදී එකට මත්වී පොල්ලකින් පහරදී අනෙකා මරා දමලා

218

වරකාපොළ පොලිස් බල ප්‍රදේශයට අයත් වාරියගොඩ අවන්හලක් තුළදී පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහරදී මරා දමා ඇත.

මෙසේ මරණයට පත්කර ඇත්තේ වාරියගොඩ වැදිකන්ද ගමේ පදිංචි ඩී. කේ. සමන් සෝමසිරි නමැති 44 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

ඊයේ රාත්‍රියේ මෙම සිද්ධියට අදාළ දෙදෙනා අවන්හලක් තුළ දී මත්පැන් පානය කර තිබේ. එම අවස්ථාවේදී මෙම දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් මත මෙම මරණය සිදුකර ඇත. මෙම සිද්ධියට අදාළ සැකකරු ඊයේ රාත්‍රියේම වරකාපොළ පොලිසියට භාර වී ඇති අතර ඔහු වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරු මරණයට පත්වු අයගේ ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි අයෙකි.

මෙම ස්ථානයට පැමිණි වරකාපොළ දිසා මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගණී මෙනෙවිය ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කරන ලදී.

වරකාපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඩී.සී. ප්‍රසාද් මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරයි.
වරකාපොළ සරත් ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment