ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් ලෝක බැංකු නියෝජිත පිරිසක් සමග සාකච්ඡා

86

2022 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා ඇති විකල්ප පිළිබඳ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාගැනීමේ ඇති හැකියාව විමසා බැලීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී මූලික අවධානය යොමුවූ අතර, වත්මන් මූල්‍ය අර්බුධය හමුවේ ණය ආපසු ගෙවීමට ඇති හැකියාව පහළයාම හේතුවෙන්, ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව මගින් ණය පහසුකම් ලබා ගැනීමට ලංකාව තවදුරටත් හිමිකම් නොලබන බවත්, ඒ හේතුවෙන් සහනදායී ණය පහසුකම් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සහය අපේක්ෂා කළයුතු බවත් අවධාරණය විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව අතරමැදි සහනදායි ණය වැඩසටහන යන ක්‍රමවේදය අනුගමනය කිරීම මගින්, ජාත්‍යන්තර සංවර්ධන සංගමය යටතේ ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීමට සුදුසුකම් ලබන රටක තත්ත්වයට පත්වනු ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතිනු ඇත.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයින් පෙන්වා දුන්නේ, මෙම නව සහනදායී අරමුදල් වෙත ප්‍රවේශවීමේදී ශ්‍රී ලංකා රජය විසින් නව ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මෙන්ම විස්තීරණ ණය පහසුකම් සඳහා අදාළ ක්‍රමවේදයන්ද ක්‍රියාත්මක කළ යුතු බවයි.

මෙලෙස ශ්‍රී ලංකා රජය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන, ප්‍රගතිශීලී හා තිරසාර ආර්ථික හා සමාජීය ක්‍රමවේදයන් පදනම් කොටගෙන අනාගතයේදී ශ්‍රී ලංකාවට නැවතත් ඉහළ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටමක් අත්කරගැනීමට රුකුලක් විය හැකි බවද, උප සභාපති සහ ලෝක බැංකු නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment