ආර්ථික පර්වර්තන පනතින් දේශීය ව්‍යවසායකයා බරපතළ අර්බූදයකට ලක්වෙනවා

1

රටේ නීතියටත් වඩා උඩින් ක්‍රියාත්මක වන මණ්ඩලයක්
සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම අතිශයින් බරපතළයි
සුනිල් හඳුන්නෙත්ති (ජාජබ)

ආර්ථික පර්වර්තන පනත සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනත මගින් පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු දේශීය ව්‍යවසායකයා බරපතළ අර්බුදයකට ලක්වෙන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය

ඊයේ (22 දා) පක්ෂ මුලස්ථානයේ පැවති ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ආර්ථික පරිවර්තනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සඳහා බව කියන පනතක් සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පනත් මගින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමටත් යෝජනා කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ඉන්න කෙනෙකු හෝ විදේශ ගත ලාංකිකයින් හෝ ආයෝජන මණ්ඩලය අහෝසි කරන්නැයි උද්ඝෝෂණය කළේ නැහැ. ආර්ථික පර්වර්තන පනත හදිසියේ රැස්කළ පාර්ලිමේන්තුවට ගේනවා. නමුත් කවුරුත් ඉල්ලුවේ නැහැ. මේ පනත සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයකට අධිකරණයට යා යුතු නම් ඒ වෙනුවෙන් තිබෙන්නේ සීමිත අවකාශයක්. වෙසක් පොහොය ඇතුළු රජයේ නිවාඩු කාලයක් වගේම ජනතාවගේ අවධානය වෙනතක තිබියදී රනිල් වික්‍රමසිංහලාට අවුරුදු 75ක් තිස්සේ කරන්න බැරි වූ දෙයක් හදිසියේ මතක් වුණා වගේ මේ පනත ගේනවා. මේ අයට පනත් ගේන්න තිබුණු හදිසිය කොතරම්ද කියනවා නම්, ඉංග්‍රීසි පිටපත සිංහලට පරිවර්තනය කර ගන්න නිසි ලෙස හැකිවී නැහැ. ඒ සම්බන්ධයෙන් උදාහරණ ගණනාවක්ම මේ පනත් කෙටුම්පතේ තිබෙනවා. රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත්ම හෑල්ලුවකින්.

සමාගම් පනත යටතේ පිහිටුවන පෞද්ගලික සමාගමකට ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ බලය ලබාදෙන්න යනවා. මෙයින් හැම දෙයක්ම කිරීමේ හැකියාව කැබිනට් මණ්ඩලයට සහ ඇමතිවරයාට තිබියදී ජනාධිපතිවරණය කැඳවීමේ පසුබිමක මෙතරම් බරපතළ තත්වයක් ඇති කිරීම අතිශයින්ම සැක සහිතයි. කෙටුම්පතේ 3 සහ 4 වගන්තිවල ජාතික නිෂ්පාදිතය, ණය සේවාකරණ ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුමේ කොන්දේසි ඇතුළත් කර තිබෙනවා. ප්‍රතිපත්ති පනතක් ලෙස ගෙනත් ඒ වගන්ති කඩ කළහොත් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් මේ පනතේ නැහැ. මේ පනතේ පැහැදිලිවම තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු වෙනුවෙන් ඒ මූල්‍ය අරමුදල කැපවෙනවාටත් වඩා රනිල් වික්‍රමසිංහගේ ඇති කැපවීමයි. රනිල් වික්‍රමසිංහ වගේම රාජපක්ෂලාගේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ වෙනුවෙන් ඇති කැපවීම පැහැදිලි වෙනවා. මේ පනත් මගින් පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු දේශීය ව්‍යවසායකයා බරපතළ අර්බුදයකට ලක්වෙනවා. මේ පනත සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ අලි බාගයේ පක්ෂය දරන ස්ථාවරය මේ දක්වා පැහැදිලි කර නැහැ. ඔවුන්ගේ බ්ලූ ප්‍රින්ට් යෝජනා මාලාව අනුව ගත්තත් රනිල් වික්‍රමසිංහගේ මේ වැඩපිළිවෙළට විරුද්ධ වීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. රටේ නීතියටත් වඩා උඩින් ක්‍රියාත්මක වන මණ්ඩලයක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම අතිශයින් බරපතළයි. ඒ සම්බන්ධයෙන් අලි බාගයේ පක්ෂයේ සජිත් මහත්තයාගේ ස්ථාවරයත් හෙළි කළ යුතුයි.

මෙවැනි පනතක ඉල්ලීමක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් නැතිව තිබියදී, ගෙන ඒමේ අභිලාශය කුමක්දැයි ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුයි. අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මෙයින් පීඩාවට පත්වෙන සියලුම කොටස් සමග එක්ව අපි මීට එරෙහිව ක්‍රියාකරනවා. ශේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරන්නත් අපි ලැහැස්තියි. වෘත්තිය සමිති එක්ක සාකච්ඡා කර, මෙයට එරෙහිව කළ හැකි උපරිම මැදිහත්වීම් අපි කරනවා. පුරවැසියන් හැටියටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගෙනුත් මාධ්‍යවේදීන්ගෙනුත් අපි ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් දැනුවත් වී උපරිම සංවාදයක් ඇති කරන ලෙසයි.

advertistmentadvertistment
advertistmentadvertistment