එකදිගට දින 5ක් බැංකු නිවාඩු

625

දේශීය ණය ප්‍රශස්තකරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමටයි
මහ බැංකු අධිපති
ඒ.ටී.එම්. ගනුදෙනු, අන්තර්ජාල බැංකු ගනුදෙනුවලට බාධාවක් නැහැ

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය වීම හේතුවෙන් ජූනි 30 විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව එකදිගට දින 5 ක් බැංකු නිවාඩු දින වශයෙන් ගැනෙන බවත්, එම කාලය තුළ දේශීය ණය ප්‍රශස්ථකරණ සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් කිරීමට හැකිවෙතැයි රජය බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපතිවරයා කියයි.

ජූනි 29 දා (බ්‍රහස්පතින්දා) සහ ජූලි 03 දා (සඳුදා) රජයේ නිවාඩු දින වන බැවින් ජූනි 30 (සිකුරාදා) විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟම එකදිගට දින 5ක් බැංකු වසා දැමෙනු ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද පැවසීය.

“රජය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරලා මේ මාසේ 30 වැනිදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශ කළා. දේශීය ණය ප්‍රශස්තකරණය (Domestic Debt Optimization) කියන වැඩපිළිවෙළ පසුගිය දවස්වල මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සාකච්ඡා කරලා අවසන් අදියරකට ඇවිත් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි කාලපරාසයක් අවශ්‍යයි. ඒ ක්‍රියාත්මක කිරීමේ දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, ඉන්පසු පාර්ලිමේන්තුවේ අදාළ කමිටු, මුදල් කාරක සභාව සහ අනෙකුත් අදාළ කමිටුවලට සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය වෙනවා.

ජූනි 30 සිකුරාදා බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළාම එකදිගට දවස් පහක යම්කිසි ආකාරයක වෙළෙඳපොළවල් වසා දැමීමේ කාලය තුළ මේ සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් කිරීමට හැකිවෙයි කියලා රජය බලාපොරොත්තු වෙන නිසා තමයි ඒ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.

ඒක ඒ හේතුව නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. කිසිම ආකාරයක බැංකුවලට ගනුදෙනුවලට විශේෂයෙන් සාමාන්‍ය නිවාඩු දවසක සිදුකරන බැංකු ගනුදෙනු, ඒ.ටී.එම්. ගනුදෙනු, අන්තර්ජාල බැංකු ගනුදෙනුවලට කිසිම බාධාවක් නැහැ”
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment