එක පාරටම රුපියල පා කළ අයට දඬුවම් කළ යුතුයි – රනිල් වික‍්‍රමසිංහ

397

අයි එම් එෆ් එකට ගිහින් රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා – මුදල් ඇමැති අලි සබ්රි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හා මැදිහත්වීම මත ඉතා ඉක්මනින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර අත්‍යවශ්‍ය සේවා සැපයීමට කි‍්‍රයාකරන බවත් ඒ සඳහා සියලූ කි‍්‍රයාමාර්ග රජය ගෙන ඇති බවත් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

නියෝජ්‍ය වේත‍්‍රධාරි කුෂාන් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (08දා) පෙරවරු 10.00ට
රැස්විණි.

ප‍්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛනාදිය වාර්තා මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කරනු ලැබීය.

පසුව මන්තී‍්‍රවරුන්ගේ විශේෂ ප‍්‍රකාශ ආදිය සිදු කිරීම සිදුවිය. අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් විවාදය
ඇරැඹිණි.

පත්කළ මන්තී‍්‍ර රංජිත් බණ්ඩාර මහතා (ශී‍්‍රලපොපෙ) – ශී‍්‍ර ලංකාව මේ වනවිට ආර්ථික වශයෙන් අර්බුදයක සිටිනවා. ඒ සඳහා කල්පනාකාරී ලෙස ආර්ථික ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. අතීතයේ රජයන් එවැනි දැඩි ප‍්‍රතිපත්තිවලට යෑමට මැලිකමක් දක්වා තිබෙනවා. අයිඑම්එෆ් අරමුදල කිව්වත්, නොකිව්වත්, අපි අපේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ කළ යුතුව තිබෙනවා.

ශී‍්‍ර ලංකා ආර්ථික විiාඥයන්ගේ සංගමය කියන්නේ අපේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු යැයි මා යෝජනා කරනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතා (ශී‍්‍රලපොපෙ) – ඉන්ධන, විදුලිය, ගෑස් නැතිව ජනතාව පීඩාවට පත්වෙලා තිබෙනවා. ජීවිතයටවත් රුපියලක් හොරකම් කරපු නැති වුණත් 225 ම හොරු කිව්වාම මටත් කම්පනයක් ඇතිවෙනවා. මා මීට පෙර ගිණුම්කරණය, ආර්ථිකය වැනි ක්‍ෂේත‍්‍ර තුළ කටයුතු කර ඉහළ වැටුප් ලැබූ අයෙක්. මා හට එම ක්‍ෂේත‍්‍රවලින් රටට සේවයක් කළ නොහැකි බව පාර්ලිමේන්තුවට පැමිණි පසුව තේරුම් ගියා. මා මීට මාස කිහිපයකට පෙර අයිඑම්එෆ් යන්න වෙයි කියලා මේ සභාවේ කිව්වා. එවිට නිවාඞ් කබ්රාල් මහතා මගේ කතාවෙන් පසුව කිව්වා ඒ කතාව නැවත කියන්න එපා. එය රජයේ ප‍්‍රතිපත්තිය නොවෙයි කියලා. අපි අයිඑම්එෆ් සහාය ගත්තොත් එය අස්වැසිල්ලක් විතරයි සදාකාලික විසඳුමක් නොවෙන බව මා කියන්න කැමතියි.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා – අද අයිඑම්එෆ් වාර්තාව පිළිබඳ කතා කරන විට මා කනගාටු වෙනවා මුදල් ඇමැතිවරයෙක් මේ සභාවේ නොමැතිවීම. මේ ආර්ථික ගැටලූවට පිළියම් ලෙස මූලික කරුණු නවයක මාර්ග සිතියමක් මා ඉදිරිපත් කරනවා. ණය ගත් අපි ණය ගත් අය සමග යම් එකඟතාවකට පැමිණ ණය ගෙවීමේ විරාමයක් ලබාගෙන රටේ ජනතා අවශ්‍යතා වෙනුවෙන් සීමිත ඩොලර් ප‍්‍රමාණයක් භාවිත කළ යුතුයි. ඒ සඳහා නීති මණ්ඩලයක් පත්කළ යුතුයි. එහිදී අපට ගෙවීමට තිබෙන ප‍්‍රාග්ධන මුදලයි, පොලියයි ගෙවීම වළක්වා ගත යුතුයි. මේක නොකළොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. සරලවම කිව්වොත් රට බංකොළොත් වේවි.

දෙවැනි කරුණ මහ බැංකුවේ ස්වාධීනත්වය ඇති කළ යුතුයි. ඉක්මනින්ම එහි ස්වාධීනත්වය ඇතිකර ගත යුතුයි. දේශපාලන ඇඟිලිගැසීම් නොකළ යුතුයි. නන්දලාල් වීරසිංහ මහතා පත් කිරීම හොඳයි. මුදල් මණ්ඩලයට සහ මහ බැංකුවට දක්‍ෂයන් පත් කළ යුතුයි. මේ ස්වාධීනත්වය ස්වාධීන කරලා ප‍්‍රබුද්ධ ප‍්‍රශස්ථ නිලධාරීන් පත් කිරීමෙන් මේ උද්ධමනය නතර කරගත හැකියි.

ඊළඟට ණය ගෙවීමේ සහන කාලයක් අපි ඉල්ලා ගත යුතුයි. ඉන්දියාව, චීනය සමග වෙන වෙනම කතා කරලා ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික එකඟතාවලට අපි එන්න ඕන. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහය ගන්න ඕන. එමගින් ඩොලර් සංචිතය ශක්තිමත් කර ගත හැකියි.

හතරවැන්නට, අපිට මේ අවස්ථාවේ අයිඑම්එෆ් ණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ තාක්ෂණික සහාය විතරයි.

පස්වැන්න ලෙස අපට පිළිවන් ද්විපාර්ශ්වීය හෝ බහුපාර්ශ්වීය ලෙස රටවල් සහ මූල්‍ය ආයතන සමග කතා කරලා රට වෙනුවෙන් යම් කිසි ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් ලබාගන්න. එවිට මාස 6 ක් හෝ අවුරුද්දක් තුළ ශ්‍රේණිය ඉහළ දමා ප‍්‍රාග්ධන මූල්‍ය වෙළෙඳපොළට ඇතුළු වී තවත් ණය ලබා ගැනීමේ අවස්ථාව ලබා

ගන්න පිළිවන්. ඒ හරහා රටේ ආර්ථිකය බංකොළොත් වීම වළක්වා ගන්න පිළිවන්.

මීළඟට දැන් අපේ රටේ සමස්ත උද්ධමනය සියයට 15 යි, ආහාර උද්ධමනය සියයට 30 යි. ඒ නිසා වහාම අලූත් අයවැයක් ඉදිරිපත් කරලා සමාජයේ අවදානම්ම ජනතාවට යම් පිළිසරණක් විය යුතුයි.

මීළඟට ප‍්‍රවීණයන් ප‍්‍රබුද්ධයන් මේ සඳහා අපි එක්කර ගත යුතුයි. විද්වතුන්ට වගේම විෂය පිළිබඳ ඉහළ දැනුම ඇති විශේෂඥයන් මේ සඳහා දායක කරගත යුතුයි.

ඒ වගේම ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකර ගත යුතුයි. අපි වහාම එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානවලට කතා කරලා ඔවුනගේ සහාය ගන්න. දැනුත් ඒ සඳහා පරක්කු වැඩියි. වහාම එය සිදුකරන්න.

අපට ලබන මැයි මාසයේ ඩොලර් මිලියන 1500 ක ණයක් ගෙවන්න තිබෙනවා. ඒක ගෙවීම අපි තාවකාලිකව නවත්වගන්න ඕන. තවත් ණයක් තිබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 310 ක ප‍්‍රමාණයක් එයත් ගෙවීම තාවකාලිකව නවත්වා ගත යුතුයි. මේවා තමයි අපේ යෝජනා. ආණ්ඩුවට මේවා කරන්න බැරි නම් අපි ඒ සඳහා සූදානම්. ඒ සඳහා දේශපාලන ප‍්‍රතිසංස්කරණ අවශ්‍යයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනෑ. අපිට ව්‍යවස්ථාමය වෙනස්කම් අවශ්‍යයි. ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකට යා යුතුයි. මේ ජනාධිපති සමඟ, මේ 20 වැනි සංශෝධනය සමඟ අපට කටයුතු කරන්න බෑ. ඒ වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභා හා ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවිය යුතුයි. මේ ජනාධිපති ගැන අපට විශ්වාසයක් නෑ. ඔහු සමඟ ගමනක් නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි. රාජපක්‍ෂ පවුලෙන් බැහැරව මේ කටයුතු කිරීමට අපට ඉඩ තිබිය යුතුයි. යම් ඉදිරි ක‍්‍රියාමාර්ගවලට සූදානම් නම් යම් ප‍්‍රශස්ත ගමනකට යන්න අපට හිතන්න පුළුවන්. රටේ ජනතාවත් උද්ඝෝෂණය කරන්නේ මේ ජනාධිපතිවරයාට බැහැ කියලා. එය එළියේ වගේම මේ සභාවේ ඇතුළේත් ක‍්‍රියාත්මක විය යුතුයි. මහ පොළොවේ යථාර්ථයට අප මුහුණ දිය යුතුයි. භාරකාර හෝ තාවකාලික හෝ අන්තර් කාලීන කියන මේ හැම ආණ්ඩුවකටම ඉදිරියට යන්න පිළිවන්ද, මේ විධායක ජනාධිපති සමඟ. 20 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක වනතුරු එමගින් නිර්මාණය වෙලා තිබෙන්නේ නිකම් ජනාධිපතිවරයෙක් නෙවෙයි. සුපිරි විධායක බලතල තිබෙන ජනාධිපතිවරයෙක්. එවැනි සුපිරි විධායක ජනාධිපතිවරයෙක් යටතේ ඔය කියන කිසිම ආණ්ඩුවකට කටයුතු කරන්න බැහැ. අපි එවන් දෙයකට එකඟවීම ද්‍රෝහිකමක්. එවැනි දේශපාලන

ගිවිසුම්වලට සමගි ජනබලවේගය නෑ. අපි සිටින්නේ ජනතා මතය එක්කයි. අපට තනතුරු, ඞීල්, බඩගෝස්තරවාදී දේශපාලනය එපා. පැන්ඩෝරා මුදල් ටික ලංකාවට ආපසු ගේන්න. පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් නෑ. එවැනි පාලකයන් සමඟ අප දේශපාලන තීන්දුවලට යන්නේ නෑ. ඒක තමයි ජනමතය. ජනතාව මේවා කියනවා. අපට කියන්න වෙන්නේ හොරුන් සමඟ මොන ආණ්ඩුද කියලයි. විවිධ හොරකම්වලට ඇඟිලි දිගුකරන් අපට ඒ අයත් එක්ක ආණ්ඩු කරන්න පුළුවන්ද?

අප සූදානම් නැහැ මහ පාරේ සිටින ජනතාව රවට්ටන්න. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න අපි සූදානම් නෑ. අපි ප‍්‍රතිපත්තිගරුක දේශපාලනය කරනවා. තනතුරුවලින් යන්නත් අපි සූදානම්, තනතුරුවල ඉන්නත් සූදානම්. අවශ්‍ය නම් දේශපාලනයෙන් ඉවත් වී විශ‍්‍රාම ගන්නත් සූදානම්. හැබැයි හොරු සමඟ වාඩි වී ආණ්ඩු කිරීමට සූදානම් නෑ.

ආණ්ඩුවට බැරි නම් අපි සූදානම් නියමිත ක‍්‍රමවේදය තුළ ඒ ඒ වගකීම් භාරගන්න. අපි වගකීම්වලින් බැහැර වන්නේ නෑ. නමුත් අපි කියන්න ඕනෑ ඒ වගකීම් භාර ගන්න විට විධායක ජනාධිපති ධුරය, 20 වැනි සංශෝධනය තිබෙන්න බෑ. අපට මේ ජනාධිපති සමඟ කටයුතු කරන්නත් බෑ. ඒක තමයි මහ පොළොවේ යථාර්ථය. ඒ වගේම ආචාර්ය ඉන්‍ද්‍රජිත් කුමාරස්වාමි ප‍්‍රමුඛව මූල්‍ය උපදේශක මණ්ඩලයක් පත්කිරීම හොඳ දෙයක්. නව මහ බැංකු අධිපති පත්කිරීමට ගත් තීරණයත් හොඳ තීරණයක්. අපි කියන්නේ මේ අර්බුදයේදී නායකත්වය ගන්න, නැත්නම්

අනුගාමික වෙන්න, නැත්නම් ඉවත් වෙන්න. නැත්නම් ව්‍යවස්ථානුකූල ලෙස විශ්වාසභංගයක් ගේන්න අපට සිදුවෙනවා. ඒක ගේන්නම්. ඒ නිසා ජනතාවට ආපසු මුහුණ දීමට හැකි ආකාරයට තීන්දු තීරණ ගන්න. අපේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගත යුතුයි. ලේ විලක් ඇති කරන්න යන්නේ මේ ආණ්ඩුවේ ඒජන්තයන්. ජනතාව නොවෙයි. අද අපි ආර්ථික, දේශපාලන විසඳුමක් දුන්නා. ඒ නිසා විධායකය දෙයියන්ගේ නාමෙන් අහෝසි කරන්න. නැත්නම් ඉල්ලා අස්වෙන්න.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන –

ආර්ථිකයේ ඇතිවී තිබෙන අර්බුද විසඳීමට ප‍්‍රධාන තීන්දු දෙකක් ගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්‍ෂණික සහාය ගැනීමටත්, ණය කළමනාකරණය කිරීමටත් ජාත්‍යන්තර සහාය

ගැනීමටත් කමිටුවක් පත් කළා.

ආර්. පේ‍්‍රමදාස යුගයේ, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ගිහින් ආණ්ඩුවට විරුද්ධ වූ විට රට පුරා ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ ආවා. ජනාධිපති යන්නේ නැතිව හිටියා. මිනීමැරුම්, ලේ වැගිරීම් ඇතිවුණා.

ඒ නිසා අද පවතින තත්ත්වයෙන් දේශපාලන ප‍්‍රයෝජන ගන්න එපා. දරුවෝ පාරට බස්සන්න,

උසිගන්වන්න එපා.

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ (එජාප) –

අද දේශපාලන හා ආර්ථික නොනගතයක් තියෙනවා. මේ ලිතේ ආහාර අනුභවය හෝ පුණ්‍යකාලය නැහැ.

ගෑස් හිඟය, විදුලි කප්පාදුව, තෙල් හිඟය තියෙනවා. වේල් දෙකයි කන්න වෙන්නේ. ඉතා අසීරු අවධියක්.

රටේ උද්ඝෝෂණ තියෙන වෙලාවේ ජනාධිපති ජනතාවට කතා කරන්න අවශ්‍යයි. ඉදිරි වැඩපිළිවෙළ කිව යුතුයි. උද්ඝෝෂණ නැවැතුනේ නැතිනම් පක්‍ෂවල මතය ලබාගත යුතුයි.

කැබිනට් මණ්ඩලය දැන් නැහැ. අලූත් කැබිනට් මණ්ඩලයක් එනවා නම් විශාවාසයක් ඇතිකර ගත යුතුයි. වැඩිකල් යෑමට පෙර කැබිනට් මණ්ඩලය පත්වී ඒ විශ්වාසය ලබාගන්න. හමුදාව සිවිල් අරගල සඳහා යොදාගත යුතු නැහැ. සිවිල් උද්ඝෝෂණවලට හමුදාව සම්බන්ධ කර ගන්න එපා. හමුදා පාලනයකදී රටට ලැබෙන හැම දෙයක්ම නැති වේවි. රජයේ පොදු මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුව. ඒ බලතල සභාවට ගත යුතුයි. ඇමැති මණ්ඩලය මුදල් භාවිතය පිළිබඳ බලය පාර්ලිමේන්තුවට ගත යුතුයි.

අද රටේ ඇති වූ තත්ත්වය ගැන සොයා බලන්න. තේරීම් කමිටුවක් පත්කරන්න. කවුද එකපාරටම රුපියල පා කරන්න කිව්වේ. මේකට වගකිවයුත්තේ කවුද. මූල්‍ය මණ්ඩලය ඔවුන් සම්බන්ධ නැහැ කියනවා. අයි.එම්.එෆ්. එක කිව්වේ ටික ටික පා කරන්න කියලා. මේ වැරැද්ද කරපු අයට දඬුවම් කළ යුතුයි. සියයට 5 කින් පා කරන්නත් කැබිනට් අනුමැතිය අවශ්‍යයි. ඒ කිසිවක් නැතිව පා කරලා. අද අපි රිම් එකෙන් යන්නේ. ඉන්දියාවෙන් දෙන තෙල් අවසන් වූ විට කොහොමද තෙල් සොයා ගන්නේ.

වසරකට අවශ්‍ය ආහාර ඉල්ලගමු. මේ අයවැයෙන් අනවශ්‍ය දේ ඉවත් කර ජනතාවට සහන දෙමු. රාජ්‍ය මූල්‍ය කොමිසමේ බලතල තව වැඩි කරන්න. ආදායම් වැඩි කිරීමේ කොමිෂන් දාන්න. ණය පාලනය කිරීමේ වැඩසටහනක් කරන්න අවශ්‍යයි. මේ හැම දේකටම පාර්ලිමේන්තුවට බලය දෙන්න. කැබිනට් එකත් සම්බන්ධ වෙන්න. පසුපෙළ මන්ත‍්‍රීවරු අවිශ්වාස නොකර අධීක්ෂණ කොමිටි පත්කර ඒ අයගේ උපදෙස් ගන්න. පැරණි මන්තී‍්‍රවරු රැසක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. දැනුමෙන් ප‍්‍රයෝජන ගන්න. පාර්ලිමේන්තුව ලෙස එකතුව කි‍්‍රයා කරමු. මේ හැමදේටම අපි

රැස්වී සාකච්ඡුා කරමු. කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ

පාර්ලිමේන්තුව මේ වගේ වෙලාවට මැදිහත්ව කි‍්‍රයා කළ යුතුයි කියලා හිටපු අගමැති කිව්වා. ඒ වගේ ආදර්ශයන් ලොව තියෙනවා. මම අතුරු පාලක කැබිනට් එකක් පත් කරන්න යෝජනා කළා. මේ වෙලාවේ කථානායකට සුවිශේෂී වගකීමක් තියෙනවා කි‍්‍රයා කිරීමට. ඒත් අපේ කථානායක ඒ වගකීම ඉෂ්ට නොකරන බව පේනවා.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

අද ලෙබනන් රටට මූල්‍ය අරමුදල මුදල් ලබාදීමට තීරණය කරලා. ඒ රට සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. දරිද්‍රතාව සියයට 80 කින් ඒ රටේ වැඩි වෙලා. බැංකු පද්ධතිය කඩාවැටිලා. මූල්‍ය පද්ධතියම බිඳවැටිලා. අපේ වගේම විදුලිය කපලා. ඉන්ධන නැහැ. එරටේ දොස්තරලාගෙන් සියයට 50 ක් රටින් ගිහිල්ලා.

ශී‍්‍ර ලංකාවෙත් මූල්‍ය අරමුදලට යෑම ගැන මතභේදයක් තිබුණා. අපේ ආදායම් වියදම් අතර පරතරය අඩු කර ගත යුතුයි. ණය ප‍්‍රතිව්‍යුහගත කර ගත යුතුයි. මහ බැංකුව විනයානුකූල තැනකට ගෙන ආ යුතුයි. මූල්‍ය වෙළෙඳපොළේ පාලනය අතට ගත යුතුයි. ප‍්‍රතිපත්ති පොලී අනුපාතය දෙගුණ කරන්නැයි මහ බැංකුවෙන් ඉල්ලනවා. එසේ නැති නම් රුපියල වැටෙන වේගය අඩු කරන්න බැහැ. වහාම තීන්දුවක් එහි මූල්‍ය මණ්ඩලය ගත යුතුයි. ඩොලරය දැන් රුපියල් 320 පැනලා. මෙය අඩුම ගණනින් රුපියල් 330 න්වත් නතර කරගත යුතුයි.

ඒ වගේම අඩු ආදායම්ලාභීන් දරිද්‍රතාවයෙන් බේරාගත යුතුයි. එක වේලක්වත් කන්න පුළුවන් තැනකට ගෙන ආ යුතුයි. විදේශ ණය ඩොලර් බිලියන 2.6 ක් මුල් මස 3 ගෙවලා. මැයි මාසයේ ඩොලර් මිලියන 620 ක් ගෙවිය යුතුයි. ඉන්දියාවෙන් ගන්න කෑමවලට ඩොලර් බිලියන 1.4 ක් ගෙවිය යුතුයි. ඒවා අපට ගෙවන්න බැහැ. ඒ නිසා අපි ණය ප‍්‍රතිව්‍යුහගත කර ගැනීමට මැදිහත් විය යුතුයි.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි (ශී‍්‍රලපොපෙ)

දෙපැත්තට ඇද ඇද අවසන් මොහොතේ හෝ මූල්‍ය අරමුදලට යෑමට තීරණය කිරීම හොඳයි

රට විශාල අර්බුදයකට යමින් පවතිනවා. වසර දෙකක් යන විට විධායක ජනාධිපතිකමේ හැටි රටටම පේනවා. එහි බලය පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි. හැමදෙනෙක්ම එකඟ වෙලා අන්තර් කාලීන ආණ්ඩුවක් හදමු.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විජිත හේරත් (ජාජබ)

ආණ්ඩුව මුලදී ආර්ථික අර්බුදයක් එනවා කියලා පිළිගත්තෙ නැහැ. කබ්රාල්ලා ඩොලර් තියෙනවා කිව්වා. ඒත් අද ඩොලර් නැහැ. ආර්ථික සභාවක් පත් කළා. ඒක විහිළුවක් වුණා. කමිටු පත් කරන විට අර්බුදය උඩ ගිහින් ඉවරයි. අර්බුදය වර්ධනය වෙන්න හේතුව දේශපලන නායකත්වය, මූල්‍ය අරමුදලට ගිහින් ණය ගෙවීම් කල්දමා නොගැනීම. ඔවුන්ගෙන් ණය

ගැනීම තවත් අර්බුදය වැඩිවීමක්. 16 වතාවක් ණය අරන් තියෙනවා හරි ගියාද?

රුපියල අල්ලන් ඉඳලා අත හැරියේ මූල්‍ය අරමුදල කියපු නිසයි. බදු වැඩි කළා. කළ යුතු කොන්දේසි සියල්ල ඉටු කළා. දූෂණය නැති කිරීම පමණයි කර නැත්තේ. ආර්ථික අර්බුදය විසඳන්න දේශපලන අර්බුදය විසඳිය යුතුයි. කැබිනට් එකක් නැහැ. දැන් නායකත්වය ඉන්නේ විකෘති මානසිකත්වයක. මෙවැනි අය සිටීම බරපතළ ගැටලූවක්. අද ජනතාව පාරට බැහැලා කියන්නේ ජනාධිපතිට යන්න කියලා. ඔහු ඉවත් වීමෙන් තොරව කිසිම සාකච්ඡුාවක් සාර්ථක නෑ. ජනාධිපති ඉවත් වෙන්න කැමති නැත්නම් අපි දෝෂාභියෝගයක් ගෙනැල්ලා ඉවත් කරමු. ඉවත් කර ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැකි නායකත්වයක් පත්කර ගමු. එහෙම නොකළොත් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයට අපි හිටගන්නවා. මහපාරේ අරගලයෙත් අපි ඉන්නවා. මේ පාලනය නැති කරන්න අපි මැදිහත් වෙනවා.

නුදුරු දවසකදීම එන විශ්වාසභංගයටත්,

දෝෂාභියගෝයටත් අපි ඡුන්දය දෙනවා. අපි ආර්ථික අර්බුදය ගොඩගැනීමට නම් ඇත්ත ප‍්‍රායෝගික විසඳුමකට එමු. ඒ වෙනුවෙන් අපේ මැදිහත්වීම

සිදු කරන්න සූදානම්.

පත්කළ මන්තී‍්‍ර තිස්ස අත්තනායක (සජබ)

අපට පළමුව වැරදුණේ අර්බුදය එන බව දැන දැන වසරකට පෙර අවශ්‍ය පියවර ගත්තෙ නැති නිසයි. එම් සී සී ගිවිසුමෙන් අපිට ආපු ඩොලර් මිලියන 455 ක් අතහැර දැම්මා. දේශපාලන හේතු මත රට පාවා දෙන ගිවිසුමක් කිව්වා. දැන් ඒක වෙන රටකට ගිහින්. සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියත් නැවැත්වූවා.

පාරේ මිනිස්සු ඉල්ලන්නේ තෙල්, විදුලිය දෙන්න. දෙන්න බැරි නිසා ජනපතිට ආණ්ඩුවට ගෙදර යන්නලූ. රට අරාජික තැනට ඇවිත්. සේවාවන් සැපයීම මූලික අවශ්‍යතාවන් සේ සලකලා කටයුතු කරන්න. නැත්නම් ප‍්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. මහජනයා කියන කාරණය හරියට තේරුම් අරන් කඩිනමින් කි‍්‍රයා කරන්න.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

අපේ රටේ සාමකාමී විරෝධතා ආරක්ෂා කරන

ගමන් ඒවා ප‍්‍රචණ්ඩත්වය කරා ගෙන යන පිරිස් ඉන්නවා. අපි මූල්‍ය අරමුදලත් සමග කිට්ටුවෙන් කටයුතු කරනවා. අපි මූල්‍ය අරමුදල සමග ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කටයුතු කරමින් පවතිනවා. ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම්වලට මූල්‍ය අරමුදල හරහා කටයුතු කිරීමට පියවර ගන්නවා. අපි ආර්ථිකය කඩා දැමීමේ තීරණ ගත්තෙ නැහැ. ජනතාවට අවම බලපෑමක් වන ලෙසයි තීරණ ගත්තේ. නැවත ආර්ථිකය ප‍්‍රකෘතිමත් කර නඟාසිටුවීමේ තැනට පැමිණෙනවා.

පත්කළ මන්තී‍්‍ර එරාන් වික‍්‍රමරත්න (සජබ)

සංචිතය නැතිවෙන තැනටම ආසියාවෙ ආපු පළමු රට අපේ රට. ඩොලරයේ වටිනාකම කෘති‍්‍රමව පාලනය කළා නිලධාරීන්. කළුකඩ ඇතිවුණා. ඩොලර් නැතිවීගෙන ගියා. මේවා ඇමැතිවරු දැනගෙන හිටියා ද දන්නේ නැහැ කියන්න බැහැ.

මෙහෙම වෙන්න හේතුව ජනාධිපති බලය අතට

ගැනීමයි. නිලධාරීන් හරහා රටක් ගෙනියන්න පුළුවන් කියලා ජනාධිපති හිතුවා. එහෙම කරන්න බැහැ. දැන්වත් මේක වෙනස් කරන්න ඕන.

දේශපාලන ස්ථාවරතාවය අරමුදල හා සාකච්ඡුා කිරීමට අත්‍යවශ්‍යයි. ණය ගැන කතා කරන්න එය අවශ්‍යයි. ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මුල් වැඩපිළිවෙළට මාස හතර පහක් යනවා. ලෝක බැංකුවෙන්, ජපාන ආසියානු සංවර්ධන බැංකුවෙන් යමක් කඩිනමින් ලබා ගන්න පුළුවන්. නිලධාරි මට්ටමෙන් විතරක් කි‍්‍රයා කිරීම ප‍්‍රමාණවත් නැහැ. දේශපාලන මට්ටමින් ලංකාවට සහාය ඉල්ලූවොත් ණය ආධාර සීමාව වැඩි කරගත හැකියි.

මැයි මාසය වනවිට ආහාර හිඟයක් ආවාම ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වෙනවා.

මුදල් ඇමැති අලි සබ්රි

මේ රට ඉතිහාසයේ නොවූ ආකාරයට ආර්ථික අර්බුදයකට ලක්වෙලා. එහි වැරදිකරුවන්ට ඇඟිලි දික්කරන විට ඉතිහාසයටත් යනවා.

පසුගිය අවුරුදු දෙක තුනේදී කොවිඞ් නිසා දරුණු අවපාතයකට ලක්වුණා. බදු අඩු කිරීම පිළිබඳ තීන්දුවලට එන විට කොවිඞ් ඇවිත් සංචාරක ව්‍යාපාරය කඩාවැටෙයි කියලා හිතුවෙ නැහැ. නැවත බදු ගැන සලකා බැලිය යුතුයි.

මුදල් ඇමැති ලෙස පත් වූ විට මට වඩා සුදුසු අයකුට දෙන්න කියා කිව්වා. ඒත් කවුරුවත් භාර ගත්තෙ නැහැ. මම මට පුළුවන් උපරිම කැපවීමෙන් තනතුරේ කටයුතු කරනවා. අපි මූල්‍ය අරමුදලට යනවා. අවශ්‍ය සහාය ලබා ගන්නවා. ණය වාරික ගෙවීමට පියවර ගන්නවා. යම් ලෙසකින් ගෙවන්න බැරි වුණොත් දැඩි අර්බුදයක් ඇතිවෙනවා. ආනයන අපනයන අතර ඩොලර් බිලියන 8 ක වෙනසක් තියෙනවා. ආනයන නතර කරනවාද ණය ගෙවනවාද කියන ප‍්‍රශ්නයේ ඉන්නවා. ණය නොගෙවීමේ ප‍්‍රතිවිපාක ලෙබනනයේ පේනවා. ණය ප‍්‍රතිව්‍යුහගත කළ යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර විශ්වාසය දිනාගන්න අපට සිදු වෙනවා.

යම්කිසි ප‍්‍රමාණයකට ගෙවිය යුතු මුදල්වලට අත්හිටුවන කාලයක් ලබාගත යුතුයි. ඒ අතරතුර ජාත්‍යන්තරයෙන් මුදල් ලබාගෙන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ වාසි රැසක් මේ වේලාවේ තිබෙනවා.

මම දේශපාලනය කරන අන්තිම වසර දෙක. මාව අප‍්‍රසාදයට පත් වෙයි. ඒත් මට වටින්නේ මගේ රට. ජනාධිපති අවංක නායකයෙක්. නිලධාරීන්ගෙන් වැරදි උපදෙස් ලැබෙන්න ඇති. ඒත් අපි ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අවසන් වනතෙක් සිටිනවා.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, නිරෝෂන් පෙරේරා, හර්ෂණ රාජකරුණා ඇතුළු මන්තී‍්‍රවරු කිහිපදෙනකු මෙහිදී අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා පෙරවරු 10.00 ට යළි රැස් වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment