එච්. එන්. ඩී. ශිෂ්‍ය විරෝධතාවෙන් කොළඹ කොටුව රත්වෙයි

253

එච්. එන්. ඩී. හෙවත් අන්තර් උසස් තාක්‍ෂණික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය පෙරේදා (21 වැනිදා) කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පිවිසුම අසලට පැමිණ විරෝධතා දක්වමින් පොලිස් මාර්ග බාධක පෙරළාගෙන ඉදිරියට යෑමට උත්සාහ දැරීමේදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ප්‍රදේශයම උණුසුම් විය. එහිදී එච්. එන්. ඩී. සිසුන් ඇතුළු 13 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.

එච්. එන්. ඩී. ශිෂ්‍ය විරෝධතාවෙන් කොළඹ කොටුව රත්වෙයි

මෙහිදී තුවාල ලැබූ එච්. එන්. ඩී. සිසුන් 10 දෙනකුද, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන “රැට්ටා” නමැත්තා උප පොලිස් පරීක්‍ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු රෝහල්ගත කර සිටින බව එම රෝහල් ප්‍රකශකයෙක් ‘දිවයින’ ට පැවැසීය.

ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම ශිෂ්‍ය විරෝධතාව මරදාන, ටෙක්නිකල් මංසන්ධියෙන් ගමන් ආරම්භ කළේ පෙරේදා පස්වරු 2.30 ට පමණි. ඔවුන් එම විරෝධතා පාගමන ක්‍රියාත්මක කළේ පෙරේදා කොළඹ කොටුව අධිකරණ බලසීමාව තුළ පිහිටි මාර්ග කීපයකට මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන හා හෝටල් පිහිටි ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබූ අවස්ථාවකදීය. එහෙත් සිසුන් ඒ පිළිබඳව නොසලකා කොළඹ කොටුව දුම්රිය ස්ථානය පසුකරමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පිවිසුම අසලට පා ගමනේ යෙදෙන අතරේ පොලිසිය මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තර කර තිබිණි. සිසුන් පොලිස් මාර්ග බාධක පෙරළාගෙන ඉදිරියට යෑමට උත්සාහ දැරීමේදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මෙහිදී ඇතැම් සිසුන් මාර්ග බාධක ආපස්සට ඇදගෙන එන ආකාරයද දැකගත හැකිවිය.

පොලිසිය සිසුන් දෙසට කඳුළු ගෑස් උණ්ඩ එල්ල කිරීමේදී සිසුන් ඒවා අහුලාගෙන යළි පොලිසිය දෙසටම විසිකරන අයුරු දක්නට ලැබිණි. මෙම උණුසුම් තත්ත්වයත් සමඟ කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක් හටගැනිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment