ඔබේ නිවසටත් ශ්‍රියාකාන්තාව කැඳවා ගන්න

375

ඕනෑම පුද්ගලයකුට ආහාර, ඇඳුම් පැලඳුම් මෙන්ම නිවාස ද ජීවත් වීමට අවශ්‍ය මූලික අංග වේ. පුද්ගලයකුගේ මූලික අවශ්‍යතාවල ප්‍රධාන අංගයක් වන නිවාස හා ගෙවත්ත පිරිසිදුව අලංකාරව තබාගත යුතුමය. පිරිසිදුව ලස්සනට තිබෙන නිවසකට ශ්‍රියාකාන්තාවගේ බැල්ම නොවඩුව ලැබෙනු ඇත. එහිදී එම නිවැසියන් දියුණු වීම, ආර්ථිකව ශක්තිමත් වීම, ලෙඩ රෝග ආදියෙන් මිදී නිරෝගී සම්පන්න වීම ආදිය දැකිය හැක. එසේම නිවැසියන් අතර අන්‍යොන්‍ය බැඳීම ද වර්ධනය වනු ඇත.

එමෙන්ම ඉතා අපිරිසිදුව, පිළිවෙළකින් තොරව පවත්වාගෙන යනු ලබන ගෙවතු හා නිවාසවල වෙසෙන නිවැසියන් අතර නිතර අඩදබර, ආර්ථික අපහසුතා, ලෙඩ දුක් නොයෙකුත් චිත්ත පීඩා ආදිය බහුලව දැකිය හැක. ඒ එම නිවාසවලට ‘මූ දේවිය’ බැල්ම හෙළන බැවිනි.

අප වැඩි වේලාවක් ජීවත් වන ස්ථානය නිවස වේ. එම ස්ථානයට ශ්‍රී දේවිය වඩින ආකාරයට අප ජීවත් විය යුතුයි. ඒ සඳහා ගේ දොර පිරිසිදුතාවය මෙන්ම අප අතින් සිදුකළ යුතු වත්පිළිවෙත් ගණනාවක් ද ඇත. එමෙන් ම අප කරන ඇතැම් ක්‍රියා නිසා ‘මූ දේවිය’ගේ බැල්ම වැටෙන අවස්ථා ද ඇත. නිවසට සෙත් ශාන්ති කර ගන්නේත්, කොඩිවින කරගන්නේත් එම නිවසෙහි වෙසෙන නිවැසියන් යැයි කිවහොත් නිවැරැදිය.

නිවසක් තුළ නොකළ යුතු දෑ මෙන්ම කළයුතු දෑ පිළිබඳව ද විමසා බලමු.

නිවසේ ඇති සියලු ම ජනෙල් විවෘත කර වාතාශ්‍රය නිවස තුළට ඒමට සැලැස්විය යුතුයි. දහවලට ජනෙල් වසා තැබීම කිසිවිට නොකළ යුතුයි. නිවසේ ඇති ගෘහ භාණ්ඩවල මෙන් වහලේ ඇති මකුළු දැල්, දූවිලි ආදිය ඉවත් කර දිනපතා පිරිසිදු කළ යුතුයි. මකුළු දැල්, දූවිලි හා අපිරිසිදු ස්ථානවලට ආශා කරන්නේ ප්‍රේත කොට්ඨාසයන්ය. එබැවින් මෙවැනි නිවෙස්වල ශ්‍රී දේවිය පලා ගොස් මූ දේවිය බැල්ම හෙළනු ඇත. නිවස තුළ කිලිටි රෙදි ගොඩගසා තිබීම, නිවස තුළ රෙදි වේළීමට වැල් බැඳීම ආදිය කිසිවිට නොකළ යුතුයි. එමෙන්ම දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේදී ද නිවස තුළ අඳුරුව පැවතීමට ඉඩ නොතිබිය යුතුයි. නිවස තුළ පරණ බඩු මෙන්ම භාවිතයට නොගන්නා බඩු ආදිය තැබීම නොකළ යුතුයි. ඒවා ඇත්නම් දිලිඳු අයකුට දී හෝ පුළුස්සා දැමිය යුතුයි. නිවසට ඇතුළු වන දොරකඩ හෝ නිවස තුළ තැනින් තැන පාවහන්, කොසු, ඉදල් ආදිය තැබීම නොකළ යුතුයි. නිදන කාමරයේ ඇති ඇඳන් එකට යා කර නොතැබිය යුතුයි. නිවසේ ප්‍රධාන දොරෙන් හෝ ජනෙල්වලින් කෙළ නොගැසීම කළ යුතුයි. සරම කැහැපට ගසා ප්‍රධාන දොරෙන් ඇතුළු වීම මෙන්ම නිවස තුළ තොප්පිය, කුඩ ආදිය භාවිත නොකළ යුතුයි. නිවස අතුගා එකතු වන කුණු රොඩු නිවසේ ප්‍රධාන දොරින් ඉවතට ලෑම සිදු නොකළ යුතුයි. පිරිසිදු පතුල් රහිතව නිවස තුළට ඇතුළු වීම නොකළ යුතුයි. නිවස තුළට පිවිසීමට පෙර පාද සෝදා පැමිණීමට වගබලා ගන්න. ප්‍රධාන දොර ළඟ ආහාර අනුභව කිරීම නොකළ යුතුයි. නිවසේ ප්‍රධාන උළුවස්සෙන් අවි ආයුධ, හිස් භාජන මත්ද්‍රව්‍ය, කෘමි නාශක, පෙට්‍රල්, භූමි තෙල් ආදිය ගෙට නොගැනීම කළ යුතුයි. මුළුතැන් ගෙයි වැල් ඇදීම නොකළ යුතුයි. පොල් ගෙඩිය ලෙලි ගැසූ පසු මුඩ්ට කඩා ගෙට ගැනීම නොකළ යුතුයි. නිවසේ එළිපත්ත උඩ පොල් තැබීම ද නොකළ යුතුයි. තැඹිලි වලු නිවස තුළට ගැනීමේදී නැටි කපා ගැනීම සිදුකළ යුතුයි. හිස් මිරිස්ගල ඇඹරීම කිසිවිට නොකළ යුතුයි. එමෙන්ම හිස් කුල්ල පෙලීම ද නොකළ යුතුයි. බාල්ක, කුරුපා හරි කෙලින් ගෘහ භාණ්ඩ තැම්පත් කිරීම නොකළ යුතුයි. ලුණු පොල්කට්ට හිස් නොවීමට ගෘහණිය වගබලා ගත යුතුයි. එමෙන්ම ලුණු පොල් කට්ටට ලුණු දමා ශබ්ද නඟා කවලම් කිරීම නොකළ යුතුයි. ලුණු පොල් කටුවෙන් ලුණු රැගෙන අන් අයට දීම නොකළ යුතුයි. ගේට්ටුව, ජනෙල්, දොරවල් ආදිය ඇරීමේදී ශබ්ද නැඟීම නොවිය යුතුයි. ළිපේ අළු අස් නොකර දිගට ම තැබීම නොකළ යුතුයි. ළිප් ගල් මත කුප්පි ලාම්පු නොතැබීම කළ යුතුයි. මුහුණ බලන කණ්ණාඩිය මුළුතැන් ගෙයි නොතැබීමට, උළුවහු යටට වී ඔළුව පීරීම, උකුණන් ඇදීම හා ආහාර ගැනීම නොකළ යුතුයි.

හිරමනය උඩ වාඩි වී ආහාර ගැනීම නොකළ යුතුයි. හිරමන තලයේ ඇති පොල් ගෙන කෑම නොකළ යුතුයි. නිවසින් පිට ඇති බුදු මැඳුරේ ආලෝකය ප්‍රධාන දොරින් නිවස තුළට වැටීම නොවිය යුතුයි. වංගෙඩිය උඩ වාඩිවී ආහාර ගැනීම නොකළ යුතුයි. වංගෙඩිය උඩ පිහියා, හැඳි, ලුණු පොල්කටුව ආදිය නොතැබීම කළ යුතුයි. තරහින් මිරිස් ඇඹරීම ද නොකළ යුතු දෙයකි. කෑම කා පිඟානට අත සේදීම මෙන්ම පිඟානෙන් වතුර බීම ද නොකළ යුතුයි. ඉහත සඳහන් කළේ නිවස තුළ වෙසෙන නිවැසියන් නොකළ යුතු දේ පිළිබඳවයි. මෙවැනි අශුභ දේ නොකිරීම තුළින් එම නිවසට හා එම නිවසේ වෙසෙන නිවැසියන්ට බොහෝ සුබ ඵල වාසි අත්වනු ඇත.

මීළඟට ගෙවත්තේ නොතිබිය යුතු හා ගෙවත්ත මුල් කරගෙන නොකළ යුතු දෑ පිළිබඳව ද දැනුවත් වීම ජීවිතේ සෞභාග්‍ය උදාකර ගැනීමට උපකාරී වනු ඇත.

ගෙවත්තට නිතර සූර්යා ලෝකය වැටීමට සැලැස්වීම, ගෙවත්තේ ඇති අඳුරු ස්ථානවලට සූර්යා ලෝකය වැටීමට සැලැස්වීම, ගෙවත්තේ නොයකුත් අලංකාර මල් වවා දර්ශනීයව පවත්වා ගැනීම, කටු සහිත හා කිරි සහිත ගස් වර්ග නිවස ඉදිරිපිට වැවීම නොකළ යුතුයි. ගෙවත්ත වල් වැදීමට නොදිය යුතුයි. ගෙවත්තේ ඇති වතුර කරාමවලින් වතුර කාන්දු වීමට ඉඩ නොතැබිය යුතුයි. වැසි ජලය ඊසාන දිශාවට හෝ උතුරට ගලා යෑම වැළැක්විය යුතුයි. සතුන්ගේ කූඩු ගෙවත්තේ තැබීමේදී එය නිවස ඉදිරිපිට නොතැබිය යුතුයි. සෝදන ජලය හා නාන ජලය ගෙවත්තේ සෑම තැනම නොයෑමට වගබලා ගතයුතුයි. ළිං පඩිය නිතර පිරිසිදුව තබාගත යුතුයි. ළිං පඩියට කෙළ ගැසීම, සොටු හීරීම නොකළ යුතුයි. නිවසේ එකතු වන කුණු අපද්‍රව්‍ය ගෙවත්තේ නොදමා පුළුස්සා දැමිය යුතුයි. නොයෙසේ නම් වළ දැමීම කළ යුතුයි.

අප එතරම් නොසිතා නිවස තුළ මෙන්ම ගෙවත්ත තුළ ද සිදු කරන අකටයුතු දේ නොකිරීම තුළින් අපට දියුණුව, නිරෝගී බව, ප්‍රසංසාව, සාමය, සතුට, මිතුරන්ගේ උදව් උපකාර දේව බැල්ම ආදිය නොවඩුව ලැබෙන අතර චිත්තප්‍රීතිය ද වැඩිවනු ඇත. එවිට අපගේ නිවසට ඇල්ම බැල්ම හෙළන මූ දේවිය පලා ගොස් ශ්‍රියාකාන්තාව වඩිනු ඇත.

ඔබේ නිවසටත් ශ්‍රියාකාන්තාව කැඳවා ගන්න

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment