ඔබේ ලග්නයට ජූලි මාසය කොහොමද?

930

මේෂ ලග්නය

මාසය ආරම්භයත් සමඟම ඔබේ ගෘහ ජීවිතය සම්බන්ධ සුබදායක වාතාවරණයක් උදාවීමේ පෙර නිමිති පහළ වේ. විශේෂයෙන් දරුවකු සම්බන්ධව සිතට සැනසීමක් ගෙනදෙන සිදුවීමක් අසන්නට ලැබේ. රැකියා කටයුතුවල යම් දියුණුවක් ඇතිවන අතර මාසය මැද දී වැඩ කටයුතු අධිකවීමත් සමඟ විවේකය සීමා වේ. ඒ නිසා සිතට ආවේගය මුරණ්ඩු ස්වභාවය ද ඇති වේ. පසුගිය ජූලි 13 න් පසුව නිතර අතමිට මුදල් සරුවීම සිදුවන අතර වියදම ද වැඩි වේ. විශේෂයෙන් පිං දහම් කටයුතු කීපයකට මුදල් ආධාර දීම් සිදු වේ. පපුව ආශ්‍රිතව ඌෂ්ණාධිකවීම් නිසා අසනීප තත්ත්වයන් ඇති වේ. එම නිසා මේ මාසය ප්‍රවේශම්වන්න.

වෘෂභ ලග්නය

මාසය මැද දක්වා මානසික තෘප්තියකින් යුතුව වැඩ කටයුතුවල යෙදෙන අතර නිවසේ ද එම තත්ත්වය පවතී. නමුත් හිටි අඩියේ ඇතිවන යටපත් වී තිබුන ගැටලුවක් නිසා පසුගිය ජූලි 15 වනවිට සිත් බිඳීමක් සිදු වේ. කරගෙන ගිය රැකියා කටයුතුවල ද අවුල් සහිත බවක් ඇති වේ. විශේෂයෙන් රැකියා ස්ථානයේ කටයුතු කිරීමේදී අනෙකුත් අය සමඟ ගැටීම් ඇතිකර ගන්න එපා. තමන්ටම පාඩු සිදු වේ. ඔබ විවාහකයෙක් නම් ජූලි 10, 11 දින දෙක තුළ දෙදෙනා අතර අසමගිතාවයක් ඇතිවීම ඒකාන්තය. විවාහ නොවූ අයෙක් නම් තිබෙන සබඳතාවය රැකගන්න. නිතර අතමිට මුදල් ගැවසෙන මාසයකි. නමුත් වියදම සීමාවක් නැත. 18, 19 දින දෙක මුදල් ලාභ සහිතයි. ඒ සමඟම හදිසි තුවාල පීඩාවක් හෝ වැටීමක් මාසයේ අගදී සිදු වේ.

මිථුන ලග්නය

මාසයේ ආරම්භයේ සිට 12 දා දක්වා ඔබ යම් උනන්දුවකින් තමන්ගේ එදිනෙදා කටයුතුවල යෙදෙන අතර උසස් වැදගත් අයගේ ඇසුරට ද වැටේ. ගෘහ ජීවිතයේ වැඩ කටයුතු අධිකවීමත් සමඟ වියදම් ඉහළ යෑමක් ද සිදු වේ. නොසිතූ අවස්ථාවල අතමිට කිනම් ආකාරයකින් හෝ සරු වේ. රැකියා කටයුතු ද උනන්දුවෙන් කරනු ඇත. උසස් ප්‍රධානීන්ගේ සැලකිල්ල ඔබ කෙරෙහි යොමු වේ. මේ සියලු තත්ත්වයන් හිටිඅඩියේ වෙනස් වී අපහසුතාවයට ලක්වීමක් ජූලි 12 දා සිට ඇති වේ. සිත කලකිරවන සිදුවීම් මාලාවක් ආරම්භ වේ. ඔබ විවාහ වී සිටින අයෙක් නම් දෙදෙනා අතර අසමගියට හේතුවක් ඇති වේ. ඒ නිසා පවුල් ජීවිතය ආරක්‍ෂාකර ගන්න. විවාහයට සබඳතාවක් පවතී නම් එය රැකගන්න. ගැටුම් ඇති විය හැකි නිසා විමසිල්ලෙන් සිටින්න. ශරීරයේ වම් පැත්තේ රෝගාබාධයක් මතුවන බව පෙනේ.

කටක ලග්නය

සෙනසුරු ඒරාෂ්ඨකයක් ගතකරන ඔබ නිතර නිතර මානසික අවුලකට මැදි වී ඇත. ලෞකික ජීවිතයේ ප්‍රධානතම කරුණ වන විවාහය ඔබට මානසිකව අවුලක් වී ඇති අතර සෙනසුරු අටවැන්නේ ඒරාෂ්ඨකවීම ඊට හේතු වේ. නිවසක් ඉදිකරන්නේ නම් ඊට බාධා ඇති වේ. මුදල් අපහසුතා නිසා වැඩ අතරමඟ නවතී. රැකියා කටයුතු සම්බන්ධ කලකිරීම් හා නුරුස්සන ස්වභාවය නිතර ඇති වේ. යම් යම් තැන්වලට සේවා මාරු කිරීම්වලට අසු වේ. දුර ප්‍රදේශයකට සේවා මාරුවක් ඇතිවිය හැක. කෙසේ නමුත් මෙම නොයෙක් අසහනතාවයන් මධ්‍යයේ පිං දහම් කටයුතු කෙරෙහි සිත ඇදී යෑමක් සිදු වේ. එය ඔබට තරමක හෝ සැනසිල්ලකට හේතු වේ. ජූලි 14, 15 දින දෙක තුළ යම්කිසි මුදලක් අතමිට ගැවසේ.

සිංහ ලග්නය

ගෘහ ජීවිතයේ වැඩි වෙනසක් ඇති නොවන මෙම මාසයේ 10, 11 දිනවලදී මව සිටී නම් ඇයට අගුණ තත්ත්වයක් ඇතිවීමෙන් වියදම් තත්ත්වයකට මුහුණදීමට සිදු වේ. මේ නිසා ඔබව අසහනයට පත් වේ. මව නිවසින් පිට ස්ථානයක සිටී නම් ඇය ගැන සොයා බලන්න. ඔබ දැනට කරන රැකියා කටයුතු රජයේ හෝ පුද්ගලික වුවත් ඔබගේ සේවය පිළිබඳව වාසි සහගත දෙයක් ඉටුවන බව පෙනේ. ඒ අතරම මාසයේ මැද දක්වා ඔබගේ අතමිට නිතර මුදල්වලින් සරුවන බවක් ද පෙනේ. වෙළෙඳාමක් කරන්නේ නම් එහි දියුණුවක්, හදිසි ලාභ තත්ත්වයක් අති වේ. ජූලි 14, 15 දින දෙක තුළදී බලවත් සෙම් රෝගයක් හෝ වාත අමාරුවක්, ශාරීරික අසහන තත්ත්වයක් ඉතා තදින් මතුවිය හැක. 20 දා දක්වා ඉතා ප්‍රවේශම් වන්න. අඹු – සැමි සමගිය තරමක් අවුල් සහිත විය හැක.

කන්‍යා ලග්නය

මාසය ආරම්භවනවාත් සමඟම හදිසි වියදම් සහිත තත්ත්වයකට මුහුණදීමට සිදු වේ. විශේෂයෙන් දරුවකු සම්බන්ධව කරුණක් මුල් වේ. ගෘහ ජීවිතයේ සාමකාමී බව විටින් විට දුරස්වන බව පෙනේ. ඔබ අවිවාහක අයෙක් නම් නෑදෑ සබඳතාවක් පවතින අයකු සමඟ මිත්‍ර සබඳතාවක් ඇති වී එය ඉදිරියට තහවුරු වන තත්ත්වයක් ඇති වේ. විවාහ ගිවිස ගැනීම දක්වා එය ස්ථාවර වේ. හදිසි තුවාල පීඩාවක ග්‍රහ බලපෑමක් ඇති බැවින් ජූලි 18 න් පසුව වාහන ගමන් බිමන්වලදී ප්‍රවේශම් වන්න. රැකියා කටයුතුවල වගකීම් අධිකවීමක් මේ මාසය තුළ සිදු වේ. ඒ සමඟම මාසය අග වනවිට තමන් බලාපොරොත්තු වූ මුදලක් අතට ලැබේ. එය යම් ආයතනයකින් තමන්ගේ හිමිකමක් විය යුතුය. කෙසේ නමුත් ඒ සමගම වියදම් තත්ත්වය ද සිදු වේ.

තුලා ලග්නය

මාසයේ මුල් සති දෙක ගෘහ ජීවිතයේ එතරම් අසහනදායී තත්ත්වයක් ඇති නොවන අතර, ජූලි 12 දායින් පසුව යම් පීඩාකාරී ස්වභාවයක් සිතට ඇති වේ. 14, 15, 16 යන දින තුන ඒ සඳහා විශේෂයි. මාසය ආරම්භයත් සමඟ අතමිට මුදලක් සංසරණය වේ. ඒ අතරම වියදමට ද මඟ පෑදේ. රැකියා කටයුතුවල වැඩ කටයුතු අධිකවීමක් ජූලි 17 න් පසු සිදු වේ. රජයේ සේවයේ යෙදෙන අයෙක් නම් අමතර වගකීම් රැසක් භාර ගැනීමට සිදු වේ. දෛනික කුලී වැඩවල යෙදෙන අයෙක් නම් උසස් අයගේ ඇසුරට පත් වී රැකියා කටයුතු කිරීමට සිදු වේ. අතමිට සරුවීමක් ද සිදු වේ. ඔබ අවිවාහක තරුණ වියේ අයෙක් නම් හදිසි සම්බන්ධතා ගොඩනැඟෙන මාසයකි. විවාහ වූ අයෙක් නම් දැනට ගත කරන විවාහ ජීවිතය ආරක්‍ෂාකර ගන්න. අයුතු සිත් බැඳීම් ඇතිකර ගන්න එපා. මුත්‍රා ආබාධයකට හේතු ඇති විය හැකි බැවින් ප්‍රවේශම්වන්න.

වෘශ්චික ලග්නය

මාසය ආරම්භ වනවිට ගෘහ ජීවිතයේ පවතින ගැටලුකාරී ස්වභාවය ක්‍රමයෙන් වැඩිවීමක් මාසයේ මැද සිට සිදු වේ. සිත කලකිරවන කුමක් හෝ සිදුවීමක් ඇති වෙනවාමය. විශේෂයෙන් සහෝදරයකුගේ නොමනා හැසිරීම් මේ සඳහා මුල්විය හැක. මාසය ආරම්භක මුල් සතිය තුළ අතමිට මුදල් සරුවීමක් සිදු වේ. අනවශ්‍ය ලෙස වියදම් නොකර එය රැකගන්න. ඔබ දැනට විවාහ වයසේ සිටින අයෙක් නම් විවාහ සබඳතාවයකට මඟ පෑදෙන අතර බාධා මධ්‍යයේ තීරණ ගැනීමටත් සිදු වේ. ඔබ සමඟ සිටි සතුරු මිතුරකුගේ හතුරුකමක් දැනගන්නට ලැබේ. මිතුරෙක් ලෙස සිටියත් ඔහු හතුරෙකි. වාහන ගමන් බිමන්වලදී තුවාල පීඩාවක් ඇතිවීමේ ග්‍රහ තත්ත්වයක් ඇති නිසා ප්‍රවේශම් වන්න.

ධනු ලග්නය

ඒරාෂ්ඨකය අවසන් කර සිටි ඔබට නැවතත් ජූලි 12 දින සිට නැවත මුහුණදීමට සිදුවීමෙන් ජූලි මාසය තරමක් අසහන තත්ත්වයක් ඇතිවිය හැක. මාසයේ මුල් දින කීපය ගෘහ ජීවිතය සාමාන්‍ය පරිදි ගතවන නමුත් ක්‍රමයෙන් ඒරාශ්ඨකය ළඟාවෙත්ම ලෙඩ දුක් මුදල් අහේනිය මේ ආදී නොයෙක් දුෂ්කරතා මතු වේ. කෙසේ නමුත් ගෘහ ජීවිතයේ එම ගැටලුවලට මුහුණදීමේ ශක්තිය ජූලි 29 දා දක්වා පවතී. ඉන් පසුව තරමක අසහනතා බලපවත්වනු ඇත. විවාහක ඔබට දරුවන් සිටී නම් පිරිමි දරුවකුගේ ගැටලු තත්ත්වයකට මුහුණදීමට සිදු වේ. විශේෂයෙන් දරුවකුගේ හැසිරීම පිළිබඳව ගැටලුවක් මුල් වේ. ඔබ අවිවාහකයෙක් නම් ජූලි 13 න් පසුව හදිසි පෙම් සබඳතාවකට මුල පිරෙනු ඇත. හැබැයි කල්පනාවෙන්.

මකර ලග්නය

සෙනසුරුගේ ඒරාෂ්ඨක ගමන නිසා ජූලි මාසය තුළ ද ඔබගේ මානසික පීඩනය තවදුරටත් පවතී. බොහෝ අවස්ථාවල තමන්ගේ බලාපොරොත්තු කඩ වී යනු ඇත. ජ්ූලි 12 න් පසුව මේ තත්ත්වය වැඩිවිය හැක. ජූලි 8,9,10 යන දිනවල තමන් කරන රැකියා කටයුතු ආශ්‍රිතව අතමිට සරුවීමක් පෙන්නුම් කෙරේ. කෙසේ නමුත් ඉතිරියක් කර ගැනීමට නම් නොහැක. ජූලි 14, 15 දින දෙක තුළ ඔබට තදබල මානසික පීඩාවකට හේතුවන කරුණක් ඇති වේ. අඹු – සැමි සමගිය සම්බන්ධ කරුණක් වන්නේය. ඔබ දැනට විවාහයක් සඳහා සබඳතාවක් පවත්වාගෙන යන්නේ නම් එය ආරක්‍ෂාකර ගන්න. රෝගාබාධ වශයෙන් බඩ වියළීම, අර්ශස් අමාරු ආදිය මතුවිය හැක. පපුව ආශ්‍රිත ස්නායු අමාරු ඇති වේ.

කුම්භ ලග්නය

සෙනසුරු ඒරාෂ්ඨකයේ අසුබ වසර දෙකහමාර අවසන් කර සිටි ඔබට නැවතත් ජූලි 12 වැනි දින සිට මාස 4 පමණ ඉදිරියට එම තත්ත්වයම බලපෑම නිසා නොයෙක් ගැටලු රාශියකට මුහුණදීමට සිදු වේ. ලෙඩ දුක්, මුදල්, අහේනිය, රැකියා කරදර, ගෘහ ජීවිතයේ අවුල් මේ ආදී අසුබතා රැසක් ජූලි මාසයේ මැද සිට ආරම්භ වේ. මේ අතර දරුවකුගේ මංගල කටයුත්තක් සඳහා කටයුතු කිරීමට සිදු වේ. දැනට කරන රැකියා කටයුතුවලදී අන් අය සමඟ ගැටලු ඇති කර ගනී. තමන්ට ලැබෙන රාජකාරි කටයුත්ත කොපමණ හොඳට කළත් විවේචනය කරන අය බොහෝ සිටිති. මෙය ගැටුම්වලට හේතු වේ. ජූලි 14, 15 යන දින දෙක බලවත් මානසික කැළඹීමක් ධන හානියක් ඇතිවිය හැක.

මීන ලග්නය

මීන ලග්නය හිමි ඔබට ජූලි මාසය තදබල අපල නැත. ගෘහ ජීවිතය ජූලි 13 න් පසුව අමුතු සැනසුම් සහගත බවක් ඇති වේ. නිවසට අවශ්‍ය අලුත් වෙනස්වීම් අලුත්වැඩියාවන් කෙරෙහි සිත යොමු වේ. නිතර අතමිට මුදල් ගැවසීම් මාසයේ මැද සිට සිදු වේ. කරන රැකියා කටයුතුවලට අමතරව වෙනත් ලාභදායී වැඩ කටයුත්තකට සිත යොමුවන මාසයකි. නිවසේ සිට එම කටයුතු කළ හැකි වේ. ඔබ දැනට අවිවාහකයෙක් නම් විවාහ සබඳතාවක් ජූලි මාසය තුළ තීරණය වීමේ හැකියාවක් ඇත. විවාහ වී සිටින අයෙක් නම් අඹු – සැමි සමගිය මේ මාසයේ හොඳින් සිදු වේ.

ලංකා කේන්ද්‍රය අනුව ජූලි 12 න් පසුව ඉතාම අභාග්‍ය සම්පන්න කාලයක් උදාවන බව පවසමි.
රට තුළ විශාල ජන කැළඹීමක් ඇති වේ. ජනතාව කබලෙන් ලිපට.

ජ්‍යොතීර්වේදී  ජේ. ගුණපාල

advertistmentadvertistment
advertistmentadvertistment