කර්මාන්ත අංශය රැකගෙන රටේ ආර්ථිකය ගොඩදාන්නේ කෙලෙසද…?

215

සම්පත් අතරින් ප්‍රධානතම සම්පත වන ජනසම්පතින් අනූන අප රටෙහි කර්මාන්තශාලා ශීග්‍රයෙන් වර්ධනය වීම වෙනුවට ශීඝ්‍රයෙන් වැසී යනුයේ රට තව තවත් ප්‍රපාතයට පත්වීමේ මං සලකුණු කරමිනි. උදාහරණ ලෙස සුඩානය වැනි අති දුෂ්කර වූ රටක් පෙරමුණට පැමිණියේ ඒ රටෙහි ජන ගහනයෙන් ප්‍රයෝජන ගැනීමෙනි. ඇඟලුම් කර්මාන්ත ශාලා යනු දුරාතීතයේ සිට අප රටට ඩොලර් ඉපයූ ප්‍රධානතම නිෂ්පාදනයකි. ඒ අතීතයේ සිට ඇඟලුම් කර්මාන්තශාලා අප රටට ඇදී ආවේ යුරෝපය මූලික කරගෙන ඇතිවූ කාර්මික විප්ලවයත් සමග කර්මාන්තශාලා බිහි වීම තුළිනි. කර්මාන්ත ශාලාවන්හි සේවය සඳහා පිරිමි සේවකයන් ප්‍රමාණය අඩු වීමත් සමග කාන්තාවන් වැඩ බිම් කරා ඇදී ඒමේ ප්‍රවණතාවක් ඇති විය. එහි ද ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වැනි කාන්තා ජනගහනය වැඩි රටවල් කරා කර්මාන්තශාලා ව්‍යාප්ත විය. එමගින් රටෙහි රැකියා නියුක්තිය වැඩි වී ශ්‍රම බළකාය වැඩි විය. මෙමගින් රටෙහි ආර්ථිකය ශක්තිමත් වීමට මෙය තෝතැන්නක් විය. එවකට මෙලෙස ලංකාවේ කර්මාන්ත ශාලා ව්‍යාප්ත වීමට අවශ්‍ය ආර්ථික, දේශපාලනමය සමාජීය හා ප්‍රතිපත්තිමය ප්‍රශස්ථ වාතාවරණයක් පැවතුණි. කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුවද රටේ ආර්ථිකයෙහි පණනල රැකි ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය හා ඇඟලුම් කර්මාන්තය හරහා රටට ඉපයූ ඩොලර් මගින් රටෙහි ආර්ථිකය සඳහා ලැබුණු වටිනාකම මේ සා යැයි කිව නොහැකිය.

රජයේ දෛනික අයවැය පරතරය පියවා ගැනීමට ශ්‍රී ලංකාව තුළ මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව වනුයේ දෛනික අයවැය පරතරයයි. ආදායම ඉක්මවූ වියදම වර්ෂ ගණනාවක් පුරා දිගින් දිගටම ඉදිරියට ගලා ඒමත් සමඟ දිගින් දිගටම ණය පියවීම විනා ණය වීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස වර්තමානයේ අපට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවිය.

මෙම තත්ත්වය පහව යන තෙක් වියදම අභිබවා අදායම වැඩිදියුණු කර ගැනීමට කටයුතු කිරීම් සඳහා රාජ්‍ය අංශය මෙන්ම අත්‍යවශ්‍ය සේවා අංශයද වර්තමානය තුළ අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් සැලසුම් කළ යුතු බව මාගේ මතය වේ. ශ්‍රී ලංකාවේ පැවැත්ම උදෙසා විශාල මෙහෙයක් ඉටු කරන්නාවූ අත්‍යවශ්‍ය සේවා මෙකී අවස්ථාවේ ප්‍රශස්ථ ලෙස ප්‍රයෝජනයට ගැනීම කළ යුතුය.

ත්‍රිවිධ හමුදාවේ සියලු වියදම් හා වැටුප් ආදී සියලුම අවශ්‍යතා ඔවුන්ගේ ඉපයීම මත සපුරා ගැනීමට කටයුතු කරවීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සියලුම අවශ්‍යතා වෙත ආරක්ෂක අංශය පෞද්ගලික අංශ හරහා ලබා ගෙන ඇත. මෙම වියදම වර්තමානය තුළ ආයතන වෙත දැරිය නොහැකි මට්ටමට පැමිණ ඇත. එලෙසම ත්‍රිවිධ හමුදාව තුළ ඉතා ප්‍රශස්ථ ආරක්ෂක අංශයේ පුහුණුවීම් ලද නිලධාරී මණ්ඩලයක් වාර්ෂිකව විශ්‍රාම ලබයි. ඔවුන්ගේ එම විශ්‍රාම මුදල (වසර 22 සම්පූර්ණ කොට නව රැකියාවක නියැළිය හැකි මට්ටමින් විශ්‍රාම ගැන්වෙන) නිලධාරීන් පෞද්ගලික අංශය වෙත වැටුපකට ලබා දී එමගින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප පියවිය හැකිය. ආරක්ෂණය, විනය නීති රීති සියල්ල පිළිබඳ ඉහළ දැනුමකින් සන්නද්ධ පිරිසක් වන බැවින් ආයතන තුළ විනය නීති රීතීන් සඳහා ආයතන පවත්වා ගැනීමට මින් රුකුලක් වනවා සේම පෞද්ගලික අංශ වෙතද සේවක පුහුණු කාල සීමාවක් සඳහා කාලය අපතේ නොයයි. එලෙසම යුද හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් අර්ධ රාජ්‍යය මට්ටමෙහි ආයතන සඳහා, රාජ්‍ය අපනයන සඳහා, ආරක්ෂක අංශ සඳහා අනුයුක්ත කිරීම තුළින් එම වැටුප් පියවා ගැනීමට කටයුතු කළ හැකිය.

රාජ්‍ය අංශයේ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සඳහා ටෙන්ඩර් පටිපාටි තුළින් පෞද්ගලික අංශ වෙතට ලබා දීමෙන් ලංකාවෙහි ණය ප්‍රමාණය දෙගුණ තෙගුණ වී ඇති වකවානුව විශාල ඉදිකිරීම්, සියලුම ඉදිකිරීම් හා නඩත්තු කටයුතු ගොඩ, මඩ, දිය දස්කම් පාන ත්‍රිවිධ හමුදාව වෙත ලබා දී එම නිලධාරීන් ඒ සඳහා යොදවා ගැනීමෙන් නියමිත ප්‍රමිතියෙන් හා නියමිත වේලාවට එම ඉදිකිරීම් ඉටු කර ගත හැකි සේම එම නිලධාරී වැටුප් හා වියදමද ඉන් ත්‍රිවිධ හමුදාවට උපයාගත හැකිය. නාවික හමුදාව වෙත සියලුම වෙරළබඩ ප්‍රදේශයන්හි ධීවර කර්මාන්තය නංවාලීමට සහය වීම සඳහා අවශ්‍ය ඉඩ හසර සලසා දීමට කටයුතු සලසා දිය යුතුයි. ගුවන් හමුදාව වෙතද ලංකාවේ සෘණ මට්ටමට පැමිණෙමින් තිබෙන ගුවන් සමාගම් සමග ඒකාබද්ධව ඒවා නඟාසිටුවීම සඳහා කටයුතු කිරීමට ඉඩ සලසා දිය යුතුය.

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය කාර්යක්ෂම කළ යුතුය. බැංකු ක්ෂේත්‍රය යනු සේවා සපයන්නා වූ ආයතනයකි. මහජනයා ඉන් සේවාව ලබා ගැනීමට යෑමෙන් කොතරම් කාලයක් වැය වේද? රටට ශ්‍රමය සපයන ඩොලර් උපයන පෞද්ගලික අංශ සේවකයන් බැංකු සේවා ලබා ගැනීම් සඳහා වැය කරන, ශ්‍රමික පැය අති විශාල ප්‍රමාණයක් මෙම අකාර්යක්ෂම සේවා හරහා රටෙහි ආර්ථිකයට නැතිවී යයි.

රටක් වෙත විශේෂතම බලපෑමක් එල්ල කරනුයේ එරට අධ්‍යාපනයයි. අධ්‍යාපන අවශ්‍යතා සඳහා මූලික අවධානයක් යොමු කළ යුතුය. සියලු පාසල්වල ප්‍රගතිය සඳහා මාසිකව සමීක්ෂණ ක්‍රම පිහිටුවාලිය යුතුය. එලෙසම අධ්‍යාපන ක්ෂේත්‍රය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පිහිටුවීමට කටයුතු කළ යුතුය.

මෑත කාලීනම උදාහරණය ලෙස පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම සලකා බලනුයේ නම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය අනුව සිසුවකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන වී ශ්‍රමික ප්‍රජාවට එක් වනුයේ අවු 26-27 වන විටය. එවිට දරුවන්ගේ හොඳම කාලයද ගෙවී අවසන් මෙන්ම රටට සේවා නියුක්තික ප්‍රමාණයද අඩු වී, අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනා කාලසීමාව වැඩි බැවින් විශ්වවිද්‍යාල පාසල් නඩත්තු පිරිවැය ආදියද නිකරුණේ දැරීමට සිදුවන වියදම් බවට පත්වී ඇත.

දරුවන්ගේ ආකල්ප වර්ධනය කරමින් යම් විෂයකට ඇති දුර්වලතාව මත දරුවා “මා නොවටිනා පුද්ගලයකුයි” යන මතය ඇති වීමට නොදී “මට ද වටිනාකමක් ඇති දක්ෂ පුද්ගලයෙක්” යැයි හැඟීමට සලස්වන්නේ නම් එම තත්ත්වය ආරක්ෂා කර ගැනීමට දරුවාගේ මනස කුඩා කල සිටම පෙළඹීම හා අනාගතයේ පෙනෙන යහපත් දිශානතියක් ජීවනෝපායකට මගක්ද ඇති බැවින් යහපත් සමාජයක් ද ඇතිවේ.

ප්‍රමිතියෙන් යුතු කුළු බඩු විශාල ප්‍රමාණයක් ඇති රට ශ්‍රී ලංකාවයි. දේශීය කුළු බඩු නඟාසිටුවීමට, දේශීය භවබෝග වගාවට මුල් තැන දීම ග්‍රාමීයව ආරම්භ කළ යුතුය. සේවා නිලධාරීන් හා කෘෂිකර්මාන්ත මූලික කරගෙන රටෙහි පාෂාණ විභවය සහ එම සම්පත මූලික කරගෙන අදාළ ප්‍රදේශයන් වෙත කුළු බඩු වගා සංග්‍රාම ව්‍යාප්ත කර මාසික අපනයන ඉලක්ක ප්‍රමාණ ග්‍රාමීය වශයෙන් ශ්‍රම නිලධාරීන් වෙත ලබා දිය යුතුය. එවිට එම අදාළ ප්‍රදේශයේ සපුරාලිය යුතු ඉලක්ක නිෂ්පාදනය සපුරාලීමට ග්‍රාමීය වශයෙන් කෘෂි නිලධාරීන් කටයුතු කළ යුතු අතර එම නිෂ්පාදන අපනයන ක්‍රම රජය විසින් සපුරාලිය යුතුය. එම අපනයනය ලාභ මත පිහිටුවා එම වැටුප් ද ආවරණය කරගැනීමට රජයට හැකියාව ඇත.

ශ්‍රී ලංකාව තුළ ප්‍රධානතම ගැටලුවක් වන ප්‍රවාහන ගැටලු මගහරවා ගැනීම සඳහා ඕනෑම කාර්යයක් (රාජ්‍ය අපනයන සේවා) මාර්ගගත ක්‍රම හරහා ලබා ගැනීමට කටයුතු සැලසුම් කළ යුතුය. එලෙසම ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම ඔන්ලයින් හරහා නිවසේ සිට සිදු කළ හැකි ආකාරයට ගෙන ඒමට කටයුතු කිරීම ඉමහත්ව අගය කළ යුතුය. එලෙසම ඊපීඑෆ් ඊටීඑෆ් ඉල්ලුම් කිරීමට යෑමේදී පෞද්ගලික අංශ සේවකයන් ලබා ගන්නා නිවාඩු ආදිය සෘජුව ආර්ථිකයට ශ්‍රම පැය අඩු වීමට බලපානු ලැබේ. මෙලෙස ජනයා රස්තියාදු වීම වළක්වා ගැනීමට එකී මෙකී සියලු සේවා කාර්යයන් තම රාජකාරී ආයතන හරහා හෝ නිවසේ සිට ඔන්ලයින් මාර්ගයෙන් සිදු කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට දිය යුතුය.

ඩුබායි වැනි රටවල් විදේශීය සංචාරකයන් ගෙන්වා ගනු ලබන්නේ එම රටේ විනෝදාශ්වාදය ලබා ගැනීමට නිර්මාණය කර ඇති සුපිරි ගොඩනැඟිලි ආදිය හරහාය. අපේ රටේ කොතරම් ස්වභාවික සම්පත් තිබේද? අර්ධ ස්වභාවික සම්පත් වන කාශ්‍යප රජ දවස ඉදිකළ සීගිරියද, අද අප රටට ඩොලර් උපයන ස්වභාවික පිහිටීමක් වන සිංහරාජයද, ඇල්ල, විදේශීය සංචාරක ආකර්ෂණයේ ප්‍රමුඛස්ථාන ගන්නා ස්වභාවික සම්පත්ය. අප රටෙහි සීගිරිය වැනි අර්ධ ස්වභාවික වන සංවර්ධනය කළ හැකි ස්ථාන කොතරම් පවතීද? ඒවා හඳුනාගෙන නිසි ප්‍රතිපත්ති තුළින් සංවර්ධනය වැඩිදියුණු කිරීමට කටයුතු කරන්නේ නම් විදේශීය සංක්‍රමණ වැඩි කරලීම තුළින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කළ හැකිය.

ඌබර් සහ පික්මී වැනි ප්‍රවාහන සේවා තුළින් කොතරම් ප්‍රවාහන සේවාවක් සැපිරේද? ශ්‍රී ලංකාව පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වූ මෙම ක්‍රමවේදය නන් දෙසින් සියලු පුද්ගලයන් ඉතා ඉක්මනින් ප්‍රවාහන සේවා පහසුව සඳහා කොතරම් දුරට වැළඳගෙන තිබේද යත් පික්මී පිහිට වූ පළමු අවුරුද්ද තුළම ඉලක්කගත ආදායමට වඩා ඉපයීය. මෙවැනි ක්‍රමවලට සීඅයිඩී නිලධාරීන් යොදවන්නේ නම් කොතරම් රහස්‍ය තොරතුරු රැස් කර ගත හැකිද ? ඌබර් සේවයන් වෙත සිවිල්ව සීඅයිඩී නිලධාරීන් යොදවා ලංකාව පුරා යෙදවීමෙන් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීමටද මනා පිටුවහලක් සැපයේ.

ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා කොතරම් රථවාහන ප්‍රමාණයක් දිනකට මහා මාර්ගයන්හි ධාවනය වන්නේද? දිනකට උඩරට සිට පහතරටත්, පහතරට සිට උඩරටටත් අවම වශයෙන් දෙවරක් හෝ තෙවරක් දුම්රිය ධාවනය සිදුවේ. නිසි ප්‍රමිතියෙන්, ගුණාත්මකව හා ප්‍රමිතියට හානි නොවන පරිදි භාණ්ඩ ප්‍රවාහනය (එළවළු සහ පළතුරු ආදිය) සඳහා සුදුසු වන මැදිරි සකසන්නේ නම් එම මගී දුම්රිය ප්‍රවාහනය අතරම භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකි වේ. මෙතුළින් මෙම එළවළු සහ පළතුරු ප්‍රවාහනය සඳහා දෛනිකව ඔබ මොබ යන රථ ප්‍රමාණය අඩු වනවා සේම ඉන් පොසිල ඉන්ධන දහනය, වක්‍රාකාරයෙන් ඉන් පියවාගත නොහැකි වන පරිසර වායු ගෝල දූෂණය මෙන්ම වියදම අඩු වීම මත ගොවියාගේ ලාභය ඉහළ ගොස්, වියදම අඩු වීම නිසා එළවළු පළතුරු මිල පහළ යෑමෙන් පාරිභෝගිකයන්ට අත්වන වාසිය ආදී වාසි රැසකට හිමිකම් උදා වේ.

ශ්‍රී ලංකාව තුළ රථ වාහන දඩ ගෙවීමේ ක්‍රියාත්මක වන ක්‍රමය ඉතා අසීරු හා වංචා දූෂණ සහිත ක්‍රියාවලියකි. දුර ප්‍රදේශයකදී දඩයක් නියම වන පුද්ගලයකුට එම දඩය පියවා තම රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට එම ප්‍රදේශයටම යෑමට සිදුවේ. මෙමගින් සුළු වරදකට දඩ නියම වුවද ඉන් මානසික අවපීඩනයට පත්වන රියැදුරාට ඉදිරි දුරකදී එම වරදට වඩා බරපතළ රිය අනතුරකින් ජීවිත හානි පවා සිදුවිය හැකිය. තවද දඩ ගෙවීමට ඇති තැපැල් කාර්යාල ප්‍රමාණවත් නොවීම හා ඒවායෙහි පවතින අකාර්යක්ෂම සේවය, වැඩ කරන පැය ගණන අනෙකුත් ආයතන ද වැඩ කරන වේලාවන් වීම එක් දඩ ලාභියකුට දඩ ගෙවීමට ගත වන පැය ගණන පැය 5ක් ලෙස ගෙන දිනකට දඩ ගෙවීමට ලංකාව තුළ රාජකාරි මිනිසුන් 2000 කට සිදු වූයේ යැයි උපකල්පනය කළේ නම්, අහිමි වන මිනිස් ශ්‍රම පැය ගණන පැය 10000 කි. දිනකට දඩ ගෙවීමට පමණක් මිනිස් ශ්‍රමික පැය 10ල000 කින් සිදුවන පාඩුව ආර්ථික අර්බුදයකට බල නොපෑවේද? එනිසා, මෙම දඩ ගෙවීම් ක්‍රියාදාමය සඳහා මාර්ගගත ක්‍රමයක් සැකසිය යුතු වේ. මෙකී ගැටලු සඳහා විසඳුම් සොයනුයේ නම් නැවතත් ලොව සැමගේ “සිහින පාරාදීසය අප රට ශ්‍රී ලංකාදීපය” කිරීමට හැකි වනු නොඅනුමානය.

කර්මාන්ත අංශය රැකගෙන රටේ ආර්ථිකය ගොඩදාන්නේ කෙලෙසද…?

ආචාර්ය චමින්ද කල්පගේ

advertistmentadvertistment
advertistmentadvertistment