කලංගේ ඇඳුම්වලට මම පිස්සු වැටිලා හිටියේ….

493

‘මගේ කලිසම් ෂර්ට් මැහැව්වෙත් කලං’

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කලං ගැන කියන කතාව
අනුපමා, වජිරා, අහස් මාලිගා, පොඩි මල්ලී චිත්‍රපට හතරේම රඟපෑවා

කලංගේ ඇඳුම්වලට මම පිස්සු වැටිලා හිටියේ....

1978 වසරේ අනුපමා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, අමරසිරි කලංසූරියව මුලින්ම දුටුවේ හැටේ දශකයේ තිරගත වුණු ‘රැයක් දවාලක්’ කියන මිලිමීටර් දහසයේ වර්ණ චිත්‍රපටයෙනි. එදා තමයි ඔහු තීරණය කරන්නේ ඔහු හදන ‘අනුපමා’ සිනමා කෘතියේ ‘රවී’ ගේ චරිතය එහෙමත් නැතිනම් දයා රාජපක්ෂගේ චිත්‍රකතාවෙන් ජනප්‍රිය වුණ ‘රවී’ ගේ චරිතයට සුදුසුම පුද්ගලයා කලං බව. එතැන් පටන් 1979 වසරේ නිමැවුණු පොඩි මල්ලී 1981 වසරේදී තිරගත වුණු වජිරා, 1994 වසරේ තිරගත වුණු අහස් මාලිගා චිත්‍රපටවල වගේම මෙතෙක් වැඩ නිම නොකළ අතරමඟ නැවතුණු ප්‍රේමයේ නාමයෙන් චිත්‍රපටයට ද අමරසිරි කලංසුරියව මහැදුරු සුනිල් ආරියරත්නයන් සම්බන්ධ කර ගත්තේය. සිනමාවටම මේ සම්බන්ධය හරි අපුරුය. කලං අද අප සියලු දෙනාම හැරගොස්ය. නමුත් ඉතිරි කළ මතක බොහෝය. ඉතින් ඒ මතකයන් ගැන හඬ අවදි කරන්නට අපි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ආරාධනා කළේ ඔහුත් සමග කලංට තිබූ දැඩි කුළුපගකම නිසාමය.

මම මුලින්ම කලංව තිරයකින් දැක්කේ ‘රැයක් දවාලක්’ කියන මිලිමීටර් දහසයේ වර්ණ චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ රංජිත් පෙරේරා. මෙහි ප්‍රධාන චරිත රඟපෑවේ පසුකාලීනව රංජිත් පෙරේරාගේ භාර්යාව වූ රූපවාහිනියේ ප්‍රධාන නිලයක් දැරූ අනෝමා වත්තලදෙණිය, එතකොට මේ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පෙන්නුවා කොළඹ ඔටෝමොබයිල් සමාගම විසින්. මම ඒ චිත්‍රපටය නරඹන්න ගියා. ඒ විතරක් නෙමෙයි මම කොච්චර සතුටට පත් වුණාද කිව්වොත්, මේ නවක කණ්ඩායම ගැන එවකට මම පත්තරයකට විචාරයක් පවා ලිව්වා. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතය රඟපෑවේ කලං. එතකොට කලං හන්තානේ කතාව කරලත් නැහැ. මගේ හිතේ කලං ගැන ප්‍රතිරූපය මුල්බැස ගන්නේ ඔන්න ඔය දවසේ තමයි. හැටේ දශකයේ තිරගත වූ මෙම චිත්‍රපටය නැරඹු එක්කෙනෙක්වත් අද අප අතර ඉන්නවාද කියලා මට සැකයි. මේ චිත්‍රපටය විනාඩි 35 – 40 ක චිත්‍රපටයක්.

මගේ මුල්ම චිත්‍රපටය තමයි 1978 තිරගත වුණු ‘අනුපමා’ චිත්‍රපටය. ඇත්තටම ඒක දයා රාජපක්ෂගේ චිත්‍රකතාවක් ඇසුරින් නිර්මාණය වුණේ. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා කියන චරිත දෙකට අමතරව දයා රාජපක්ෂ ඇඳලා තිබෙන රජී කියන චරිතයට මට එකවරම මතක් වුණේ එදා ‘රැයක් දවාලක්’ චිත්‍රපටයෙන් දුටුව කලංව. මේක මගේ පළමුවැනි චිත්‍රපටයයි. මේ චරිතවලට ඉහත නළු නිළියන් තෝරා ගැනීම පිළිබඳව නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු මොනම විදිහකවත් විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා,

මේ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරු. විජය කුමාරතුංග ඉතාම කැමැති වුණා කලංව ගත්ත එකට. මොකද විජයගේ ළඟම මිත්‍රයා කලං විජය රඟපෑවේ අසිතගේ චරිතය. එයා වෙනුවෙන්ම ජීවිතය පරිත්‍යාග කරන චරිතයක් තමයි රජී . අනුපමා චිත්‍රපටය බලපු අයට මේ චරිතය කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම හිතන්නේ දයා රාජපක්ෂගේ චිත්‍රකතාවේ රජී ජනප්‍රිය වුණේ මොන තරමටම ද ඒ තරම්ම අනුපමා චිත්‍රපටය තුළිනුත් රජී චරිතය ජනප්‍රිය වුණා.

ඒ කාලෙ කලං හිටියේ නුවර. හැමදාම ඔහු රූගත කිරීම්වලට සහභාගි වුණා. කිසිදු පෞද්ගලික දැන හැඳුනුම්කමක් ඔහුත් සමග තිබුණේ නෑ. නමුත් ඔහු අධ්‍යක්ෂවරයාට ගරුකරන, අධ්‍යක්ෂවරයාට අවනත නළුවෙක්.

අනුපමා චිත්‍රපටය කරන කාලේ මම යාපනයේ විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ. රූපගත කිරීම්වලට මම එන්නේ යාපනයේ ඉඳලා නයිට් මේල් දුම්රියේ. ඔහුත් සමග ඒ කාලේ ඇති වුණ ළෙන්ගතුකම, බැඳීම නිසා මම ඉතාම කුඩා චරිතයක් තිබුණු පොඩි මල්ලි චිත්‍රපටයේ සැක්සෆෝන් වාදන ශිල්පියාගේ චරිතය ඒකටත් මම යොදා ගත්තා.

කලංගේ ඇඳුම්වලට මම පිස්සු වැටිලා හිටියේ....

ෆරීනා ලායි කියන නිළියගේ ස්වාමිපුරුෂයා. ඔහු ගොළු චරිතයක්. චිත්‍රපටයේ වචනයක්වත් ඔහු කතාබහ කරන්නේ නැහැ. නමුත් ඔහු ප්‍රබල රංගනයක නිරත වෙනවා. චිත්‍රපටයේ හැටියට සානුකම්පිත චරිතයක්. ඔහුගේ බිරිඳ වන ෆරීනා ලායි සමග රවීන්ද්‍ර රන්දෙණිය අනියම් ඇසුරක් පවත්වනවා ඔහුට පෙනි පෙනී. ඒවා පෙනි පෙනී මේ අහිංසක සෙක්සෆෝන් වාදකයා මේ ජීවිතයේ ඛේදවාචකයට මුහුණ දෙනවා. සෙක්සෆෝන් වාදකයාගේ ගොළු චරිතය නරඹන්නන්ගේ අනුකම්පාව දිනා ගන්නා විදිහට නිරූපණය කළා. මේ චිත්‍රපටය අනුව රවීන්ද්‍ර බලපුළුවන්කාර චරිතයක්.

ඊළඟට මම ඔහුට ප්‍රධානම චරිතයක් ප්‍රදානය කළා. ඒක තමයි ආනන්ද සිරිසේන නමැති ගුවන්විදුලි නාට්‍ය රචකයාගේ ‘වජිරා’ නමැති නාට්‍යය. එය ගුවන්විදුලියෙන් අතිශය ජනප්‍රිය වුණා. වයි. එම්. කරුණාතිලක තමයි මගේ ‘සරුංගලය’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඔහුට ඕනෑකම තිබණා ‘වජිරා’ ගුවන්විදුලි නාටකයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒකෙ තිබෙනවා මුඩුක්කුවක ජීවත්වන තරුණ පාසල් සිසුවකුගේ චරිතයක්. ඔහු ආදරය කරන්නේ නදීකාට. නදීකාත් පාසල් ශිෂ්‍යාවක් එතකොට. කලං ඔය පාසල් ශිෂ්‍යයාගේ චරිතය නිරූපණය කරනකොට ඔහුට මම හිතන්නේ අවුරුදු තිහක්වත් ඇති. නමුත් කිසිකෙනෙක් චිත්‍රපටය නරඹලා ඇහැව්වේ නැහැ අමරසිරි කලංසූරිය කොහොමද පාසල් යන්නේ කියලා. ඇත්තටම ඔහුගේ ඒ ළාබල පෙනුම ඔහු මියයන තුරුත් තිබුණා.

ඒ වගේම මම ඔහුව තෝරගත්ත විශේෂ හේතුවක් තිබුණා.

ඔහුගේ මුහුණේ තිබුණ කර්කෂ පෙනුම. මුඩුක්කුවක ජීවත්වන දුක් විඳින පාසල් සිසුවකුගේ චරිතයට ඔහු ගැළපුණා. අනික ඔහුගේ මුහුණේ කොටලා තිබුණා ඒ දුක් වේදනාව. ඔහු ප්‍රබල චරිත නිරූපණයක් කළා වජිරා චිත්‍රපටයේ. වජිරා හැටියට රඟපෑවේ නදීකා. තවත් උප ප්‍රධාන චරිතයක් රඟපෑවේ ගෝතමී පතිරාජ. මැණික් කුරුකුලසූරියත් තව උප ප්‍රධාන චරිතයක් රඟපෑවා. අපි මේ අය මේ චරිතවලට තෝරා ගන්නකොට පොරොන්දු පත්‍රයක් අත්සන් කරගත්තා, ඒ චරිතවලට හඬකවන්නේ ගුවන්විදුලි නාට්‍යයේ හිටපු චරිතමයි කියලා. මොකද මිනිසුන්ගේ කනට පුරුදු වෙලා තිබෙන්නේ ඒ හඬනේ. හැබැයි කලංගේ චරිතයට වජිරා ගුවන්විදුලි නාට්‍යයේ රඟපැ හඬ නළුවා යොදා ගත්තේ නැහැ. නමුත් කවුරුවත් ඒකෙ මදිපාඩුවක් කිව්වෙත් නැහැ.

කලංසූරියගේ හඬ මේ රටේ සිනමා ප්‍රේක්ෂකයන් හොඳින්ම හඳුනනවා ඔහුගේ හඬට අපිට වෙන හඬක් යොදා ගන්න බැහැ. අපි මේ චිත්‍රපටය කරනකොටම මුලදීම හිතුවා,

කලංගේ චරිතයට හඬකවන්නේ ‘කලං’ තමයි කියලා. ඒක ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් වුණා. මේ චිත්‍රපටයේ සින්දු හයක් තිබුණා. ඒක අපි සංගීතමය චිත්‍රපටයක් විදිහටයි හැඳින්වූයේ. වජිරා චිත්‍රපටයේ කලං හරි අපුරු චරිතයක් නිරූපණය කළා.

ඊළඟට ඔහු තවත් විශිෂ්ට චරිතයක් නිරූපණය කළා මගේ චිත්‍රපටයක. ඒක තමයි ‘අහස් මාලිගා’ කියන චිත්‍රපටය. මේ චිත්‍රපටයේ කතාව, දෙබස්, තිරනාටකය තුනම තිස්ස අබේසේකරගේ. මේ චිත්‍රපටයෙන් කියන්නේ කැලණි පාලම යට තමන්ගේ ආච්චිත් එක්ක තනියම ජීවත්වන, පික්පොකට් ගහලා ජීවත්වන චරිතයක් ගැන. හැබැයි ඔහු ආදරය කරනවා, කොළඹ ලොකු ඉස්කෝලයකට යන සුන්දර තරුණියකට. ඒ සුන්දර තරුණියගේ චරිතය නිරූපණය කළේ ශිරානි නුගේරා නිළිය. එතකොට මේ පාසල් සිසුවිය කොයි තරම් ආදරේ ද කිව්වොත් මේ තරුණයාට, එයා සූදානම් වෙනවා මේ තරුණයත් එක්ක, දෙමාපියන්ට නොකියාම පැනලා යන්න. ඒ අතරතුර මේ පාතාලයේ වැඩ කටයුතු කරන තරුණයාට කොන්ත්‍රාත්තුවක් ලබාදෙනවා, කොළඹ නගරයේ ලොකු මංකොල්ලයක් සිදු කරන්න. එදාම තමයි අර පාසල් සිසුවිය සමග පැනලා යන දවස යොදාගෙන තිබෙන්නෙත්. කලං අර මංකොල්ලයත් කරලා සල්ලි පොදියක් එක්ක කොටුව දුම්රියපළේදී අර පතාලයා මුණගැසෙන්නේ නැතිව මේ සිසුවිය සමග කෝච්චියේ නැගලා නුවරට පැනලා යනවා. තිස්ස අබේසේකර හරි අපූරුවට මේ චරිත නිරූපණය කරලා තිබෙනවා. මේ සිසුවියගේ දෙමාපියන් මේ සිසුවිය සොයනවා. පොලිසිය මේ මුදල් මංකොල්ලය සිදු කරපු තරුණයාව සොයානවා. ඒක නිසා නුවර නගරයේ මොවුන්ට ඉන්න බැරි හින්ද උඩවත්ත කැලේට මේ දෙදෙනා පලා යනවා. එහිදී මේ තරුණයා පාපොච්චාරණය කරනවා මේ පාසල් සිසුවියට තමන්ගේ සැබෑ තත්ත්වය.

කලංගේ ඇඳුම්වලට මම පිස්සු වැටිලා හිටියේ....

මේ තරුණයා කියනවා මම මුඩුක්කුවක අන්තිම දුප්පත් කොල්ලෙක්. ඔයා කොළඹ හතේ ඉහළ පැලැන්තියක සුන්දර තරුණියක්. මාත් එක්ක ඉඳලා ඔයා ඔයාගේ ජීවිතය විනාශ කරගන්න එපා, ඔයාව දැන්මම මම ආපහු සැරයක් කෝච්චියට දානවා, ඔයා දැන්මම කොළඹ යන්න කියලා, මේ තරුණයා කියනවා. ඒ වගේම මට උරුම හිරගෙදර. තව ටිකකින් මම අත්අඩංගුවට පත් වෙනවා. නමුත් මේ තරුණිය කියනවා මම ඔයාටයි ආදරය කළේ ඒ නිසා ඔයාගේ මුඩුක්කු ජීවිතය මට අදාළ වෙන්නේ නැහැ, නමුත් මම ඔයාව දාල යන්නේ නැහැ කියලා. ඒක තමයි මේ ප්‍රේම වෘතාන්තය. මෙහි ඉතාම ප්‍රබල චරිතයක් කලං නිරූපණය කළා.

මගේ සිනමා ජීවිතයේ කලං කියන්නේ මට ප්‍රධාන චරිතයක්. මොකද මගේ චිත්‍රපට හතරකට මම ඔහුව යොදා ගත්තා. අහස් මාලිගා චිත්‍රපටය කරනකොටත් මම දැක්කේ එදා අනුපමා චිත්‍රපටයේ මට මුණගැසුණු කලංසූරියමයි. ඔය අතරේ අපි අතරේ හරි රසවත් සිදුවීම් තිබුණා. ඔහු හැමදාම බස් එකේ මගේ චිත්‍රපටවලට ෂූටින් එන්නේ. එනකොට ඔහුට නුවර තිබුණා ඵහ ෂබබ කියලා (මගේ කැදැල්ල) රෙදි සාප්පුවක්. ඔහුගේ ඇඳුම්වලට මම පිස්සු වැටිලා හිටියේ. මම කලං කොළඹ එනකොට කියනවා, ඔයා එනකොට මට කලිසම් දෙක තුනක්, ෂර්ට් දෙක තුනක් ගේන්න කියලා. ඉතින් ඔහු ළඟ මගේ මෙෂර්මන්ට් එක තිබුණා. ඔය චිත්‍රපට හතර කරනකොට චිත්‍රපට හතරට කලං කොළඹ එනකොට මම සල්ලි දීලා කලිසම් මහගත්තේ කලංට කියලා. මගේ කලිසම් මැහුවෙත් කලං, මගේ ෂර්ට් මැහැව්වෙත් කලං. ඉතිං ඒ වගේම අපි අතරේ මහ පුදුම ළෙන්ගතුකමක් සහ සම්බන්ධයක් තිබුණා.

මම හිතන්නේ ඔහු සිනමාව ඇතුළේ උණුසුම් තාරුණ්‍යයකින් හෙබි චරිතයක් කියලයි. මම චිත්‍රපට විසි ගාණක් කරන කොටත් මම ඉඳහිට හරි දැක්ක කලං අදටත් ඒ වගේමයි. මම ඔහුව දැක්කේ ඔහු වෙනුවෙන් නිකුත් වුණු පොතේදී. ඒ මීට වසර කිහිපයකට උඩදී. එදා තමයි මම අන්තිමට කලංව දුටුවේ. එතකොට මම හිතන්නේ අඩුම වශයෙන් අවුරුදු හැත්ත අටක්වත් විතර ඇති. නමුත් මම කවදාවත් වයසට ගිය කලංසූරිය කෙනෙක්ව දැක්කේ නැහැ.

මම කලංව චිත්‍රපට හතරකට යොදා ගන්නේ ඔහුට තිබුණු ළෙන්ගතුකම නිසාමනේ. ඒක නිසා ඒ කම්පනය මට තිබෙනවා. මම ඔබත් සමග මේ කතාබහ කරන්නෙත් ඔහුගේ දේහය නරඹලා ඇවිල්ලා. මට ඒ කම්පනය වචනවලින් කියන්න අමාරුයි.

දිනේෂ් විතාන
ඡායාරූපය-හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment