කාබනික පොහොර ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ආ යුතුයි – පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශම්මි කිරින්දේ

415

රසායනික පොහොර භාවිතය ඉදිරියේදී අර්බුදයක්

ලොව පවතින බලශක්ති අර්බුදය තුළ ඉදිරියේදී රසායනික පොහොර භාවිත කිරීම විශාල ගැටලුකාරී තත්ත්වයකට පත්වන අතර, රසායනික පොහොර සැපයීම ඉතා සීමාසහිත තත්ත්වයකට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බැවින් , ඊට කල්තියා සූදානම් වූ රටක් බවට පත්වීමට රට කාබනික පොහොර ප්‍රතිපත්තියක් දක්වා ඉදිරියට ගෙනයා යුතු යැයි පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශම්මි කිරින්දේ මහතා පැවසීය . බත්තරමුල්ල ,වෝටස් එජ් හිදී පැවති මධ්‍ය හමුවකදී මේ බව පැවැසූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.රසායනික පොහොර තහනම අස්වනු අඩුවීමට හේතු ලෙස බොහෝ පාර්ශ්වයන් කරුණු සමාජ ගත කළ නමුත් රසායනික පොහොර තහනම අස්වනු අවමවීම කෙරෙහි බලපෑ බවට පැතිරවූ මතය පිළිගත නොහැකියි. සිදුවූයේ කිසිදු පොහොරක් නිසියාකාරව ගොවියාට ලබාදීමට අසමත්වීමයි. ඕනෑම භෝගයක් සඳහා සාර්ථක කබනික යෙදවුම් ලබාදීමට අප සූදානම්. මෙරට සාගතයක් ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ. ගොවිබිම් සරු සාරකරන්නට අප සූදානම්.

ලොව අති නවීන ජෛව තාක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් අප සංගමය නිපදවන පොහොර සියල්ලක්ම මනා ප්‍රමිතියෙන් යුතු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා. ප්‍රමිතියෙන් තොර පොහොර ගොවිබිම් වලට නිකුත්කිරීමට අපේ කිසිම සාමාජිකයෙකුට අවසර නැහැ. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් සියලු පොහොර ගොවිබිම් කරා නිකුත්වන්නේ. මේ සාමාන්‍ය කොම්පෝස්ට් පොහොරක් නොව ඊට වඩා ඔබ්බට ගිය දැවැන්ත වැඩසටහනක්. අපේ සාමාජික සමාගම් කිහිපයක්ම ලොව සම්මාන පවා ලබා තිබෙනවා.

මෙවර යල කන්නය සඳහා වග කිරීමට අපේක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 5ක් පමණ වෙනවා. මේ වනවිට ඉන් හෙක්ටයාර් ලක්ෂ තුනක් පමණ වගා කර තිබෙනවා. වගා කිරීමට සකස් කෙරෙමින් පවතින භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 1.25ක් පමණ වෙනවා. මේ සඳහා මේවන විටත් පරිසර හිතකාමී ඝන පොහොර මෙටි්‍රක් ටොන් 2,25,000 ක වගාබිම් සඳහා ලබාදී අවසන්. තවත් ඝන පොහොර මෙටි්‍රක් ටොන් 90,000ක ප්‍රමාණයක් සැපයීමට තිබෙනවා. මේ ප්‍රමාණයත් සැපයිය හැකියි. කාබනික දියර පොහොර ලීටර් ලක්ෂ 50ක් බෙදාහැර අවසන්. අප වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින්නේ මෙම ආහාර සුරක්ෂිත භාවය ඇති කිරීමට අප කැපවී සිටින බැවින් එය සාර්ථක කර ගැනීමට අපට අවශ්‍ය පහසුකම් සලසාදෙන ලෙසයි. ප්‍රතිශතයක් ලෙස දියර පොහොර සියයට 80 බෙදාහැර අවසන්. සියයට 55 ක් ඝන පොහොර බෙදා අවසන්. රජයේ පොහොර සමාගම් දෙක හරහා මේ පොහොර බෙදාහැරෙන්නේ. ඉදිරි මහ කන්නයටත් අපට පොහොර සැපයිය හැකියි. මේ පොහොර ප්‍රමාණය සැපයීමට නොහැකිවුවා නම් රට කුමන තත්ත්වයක පැවැතිය හැකිද?

රුපියල් බිලියන 20කට ආසන්න පොහොර ලබාදී තිබෙනවා. දැඩි ඉන්ධන අර්බුදයත්, රටේ ඩොලර් ප්‍රශ්නය යන මේ සියලු අභියෝග හමුවේ වුවත් අවශ්‍ය පොහොර නිෂ්පාදනය කර ගොවිබිම් වලට ප්‍රවාහනය කෙරෙමින් පවතිනවා.රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගතව වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීමට අප ගන්නේ ප්‍රසංශනීය උත්සාහයක්. පසුගිය මාස 6 ඇතුළත අපි වස විසෙන් තොර ආහාර රටාවකට යොමුවී තිබෙනවා. කෘමි නාශක ,වල් නාශක ,පොහොර සඳහා ඩොලර් මිලියන 600 ක් පමණ වියදමක් අප රටේ ඉතිරිවී තිබෙනවා. මේ කාබනික පොහොර නිෂ්පාදනය නිසා එම ආදායම ගලායන්නේ රටේ දිළිඳු පවුල් ඒකක වෙත.

අනුර බාලසූරිය ,ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment