කැනඩාව කරන සංහාර චෝදනාව ප්‍රතික්ෂේප කරනවා

365

ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවූ බවට කැනේඩියානු පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගැනීම ගැන කනගාටුව පළකර සිටින බවත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ජනතාව දැවැන්ත අභියෝගවලට මුහුණ දෙන වාතාවරණයක් හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවගේ ඵලදායී මැදිහත්වීම අවශ්‍ය අවස්ථාවක කැනේඩියානු පාර්ලිමේන්තුව මෙවැනි නොමග යවනසුලු ක්‍රියාමාර්ගයක් ගැනීම කනගාටුවට කරුණකැයි ද විදේශ අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

වර්තමානය වනවිට යුද ගැටුම් අවසන්ව වසර 13 ක් ගෙවී ඇති අතර, ශ්‍රී ලංකාව තම ප්‍රතිසංධාන ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් ද ලබා ඇත. එමෙන්ම එය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ පිළිබඳව කැනේඩියානු රජය නිරන්තරයෙන් දැනුවත්කොට ඇත. ජන සංහාරය යන යෙදුම සඳහා නිශ්චිත වූ නෛතික අර්ථ ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එහි කිසිදු අන්තර් රාජ්‍ය ආයතනයක් ශ්‍රී ලංකාවේ ගැටුම් සම්බන්ධයෙන් එම යෙදුම කිසිවිටෙක භාවිත නොකළ බවත්, ශ්‍රී ලංකා රජය යළිදු අවධාරණය කර සිටියි. මෙම යෙදුම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස සහ වැරදි ලෙස යොදනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ට හිතකර නොවන, ඩයස්පෝරාව සිටින දේශපාලනික අරමුණ සහිත, ශ්‍රී ලංකාවට විරෝධී සුළුතරයක් විසින් පමණක් බව සඳහන් කළ යුතු යැයි ද එහි දැක්වේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment