කොතරම් පිංකම් සිදුකළත් බිඳ වැටෙන බලාපොරොත්තු

59

පිංවත ධර්මය සඟවන්න බැහැ. ධර්මය විවෘතව බබළනවා. අවිද්‍යාව හේතුවෙන් කාම, රූපී, අරූපී භවාත්‍රයේ යම් සත්වයෙක් ජීවත් වෙනවා නම්, එම සෑම සත්වයෙක්ම ධර්මානුකූල ඵලයක්. අවිද්‍යා පච්චයා සංඛාරා කියන ධර්මතාවයෙන් උපන් ධර්මයක්. පිංවත ධර්මය තුළමයි ධර්මයේ නිරෝධයත් තිබෙන්නේ. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ. ගැඹුරු දහමක නොගැඹුරු අරුත, ධර්මයේ ස්වාක්ඛාත ගුණයට නෑදෑකම් කියත්දි, තවමත් අපි ධර්මාවබෝධය උදෙසා කටු සටහන් අඳින්නේ, අපේම දිට්ඨි විශුද්ධියේ දුර්වලතාවන් නිසාමයි.

පිංවත අපි තවමත් මස් ඇසෙනුයි ලෝකය දකින්නේ. මස් ඇස අයිති සළායතනයන්ට, සළායතනන් අයිති අවිද්‍යාවට. පිංවත මේ මස් ඇස කවදාකවත් අවිද්‍යාවේ නිරෝධය ඔබට කියලා දෙන්නේ නැහැ. ඇස නිසා සකස්වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ ඔබට අවිද්‍යාවේ නිරෝධය කියලා දෙන්නේ නැහැ. පිංවත ඇසේ ඵස්සය තුළ බැසගත්ත ගොරහැඩි අවිද්‍යාව, ඇස උපයෝගී කොටගෙන තවත් පටිච්චසමුප්පන්න ඇසක උපතකටමයි කුරුමානම් අල්ලන්නේ. පිංවත අජීවී රූපයට පණදෙන සංස්කාර හේතුවෙන් සකස්වෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, පංච උපාදානස්කන්ධ ලෝකයේ නොපෙනෙන බලවතා වෙනවා. පිංවත මේ බලවතාට එරෙහිව සටන් කරන්න එපා. මේ බලවතාට එරෙහිව සටන් විරාමයන් පනවන්නත් එපා. යුද්ධයත්, සාමයත් යන දැනීම් දෙකම අයිති පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ නියෝගයන්ටමයි. කරුණාකර පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ ගෘහය වෙන, නිවස වෙන, විඤ්ඤාණයේ ආහාරය වෙන සළායතනයෝ විදර්ශනාවෙන්ම නිවා දමන්න. එවිට විඤ්ඤාණය තමා තුළින්ම නිවී යාවි.

පිංවත සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය, සංස්කාරයන්ට යටත්ව, සංස්කාරයන්ට කීකරුභාවයෙන් ලෝකය ජීවත් කරවනවා. ඒ නිසාම සැප වේවා, දුක් වේවා ජීවිතය අපි සතුටින්ම පිළිගන්න ඕනේ. පිංවත් මහත්මියක් භික්ෂුවට කියනවා, තමන් බලාපොරොත්තු කඩවීම් ගොඩාක් මැද්දේ ජීවත් වෙන්නේ, මොනතරම් පිංකම් සිදුකළත් බිඳ වැටෙන බලාපොරොත්තුවල නිමාවක් නැහැය කියලා. පිංවත බිඳ වැටෙන බලාපොරොත්තුවල අවසානයක් නැතිනම්, ඉටු නොවූ බලාපොරොත්තු කෙරෙහි නොගැටී, මෙතෙක් ඔබට ලැබී තිබෙන දෙය ගැන සතුටු වෙන්න. මනුෂ්‍ය දුවක් හැටියට කොච්චර දේවල් ඔබට ලැබිලා තිබෙනවා ද? පිංවත අකුසලයෙන් වියරු සංස්කාර ලෝකය තුළ සතුට හරිම දුර්ලභ දෙයක්. එම නිසා ලබන්න පුළුවන් පුංචි හෝ සතුටක් වේ නම්, එම සතුට මගහැර යන්න එපා. ඔබේම අකුසල් හේතුවෙන් වර්තමානයේ ඔබේ බලාපොරොත්තු බිඳ වැටෙනවා නම්, බිඳ වැටෙන බලාපොරොත්තු ඉදිරියේ සුවපත් වේවා යැයි මෙත් සිතක්ම ඇතිකොට ගන්න. එම මෛත්‍රි චිත්තය තුළම වර්ණය, සැපය, බලය තිබෙනවා. පිංවත විපාකයට පැමිණෙන අකුසල් ඉදිරියේ අකුසලය උපයෝගී කොටගෙනම වර්ණය, සැපය, බලයට ජීවිතය විවෘතකොට ගන්න. පිංවත මෙය සටහන් තබන භික්ෂුවට පාලනය කළ නොහැකි, භික්ෂුව අකැමැති කොච්චර නම් දේවල් සිද්ධ වෙනවා ද? භික්ෂුව කැමති දේවල් කොච්චර නම් මගහැරී යනවා ද? පිංවත තව තවත් මෙවැනි අකැමැති දේවල් සිදුවේවා. මෙම අකුසල් විපාකයන් ඉදිරියේ භික්ෂුව ඇතිකොට ගන්නා මෛත්‍රියෙන් පෝෂණය වුණා වූ විදර්ශනාත්මක චිත්තයන්මයි, අදට වඩා හෙට භික්ෂුවට වර්ණය, සැපය, බලයක්ම වෙන්නේ. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මොන අකුසලය විපාකයට පැමිණියත්, මොන ප්‍රණීත පිනක් විපාකයට පැමිණියත් එම පින සහ පව ධර්මයේ උපේක්ෂාව තුළින් දැකීමට දක්ෂයෙක්. විපාකයට පැමිණෙන පින සහ පව ඉදිරියේ, සැප සහ දුක් ඉදිරියේ උන්වහන්සේලාගේ ඉලක්කය පටිච්චසමුප්පන්න සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නිරාහාරව තැබීමමයි. පිංවත සංස්කාරයෝ අපි ප්‍රයෝජනයට ගත යුත්තේ විඳීම උදෙසා නොව, විඳීමට මුල්වෙන ඵස්සයේ විදර්ශනාව උදෙසාමයි.

කොතරම් පිංකම් සිදුකළත් බිඳ වැටෙන බලාපොරොත්තු

පිංවත අනුනට කායික, මානසික හිංසනයන් කරන්න එපා. සමාජය දෙස හොඳින් දෑස් හැර බලන්න. මිථ්‍යාදෘෂ්ටික ලෝකය හිංසනයට බිය නැහැ. ඔවුන් කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. පිංවත් තාත්තා කෙනෙක් වයස අවුරුදු පහළොවක පමණ දරුවෙක් භික්ෂුව හමුවට එක්කරගෙන පැමිණියා. එම දරුවාට අධික්‍රියාකාරකම් වලට අදාළ මානසික ව්‍යාධියක් තිබෙනවා. එම මානසික රෝගය සඳහා එම පිංවත් දරුවා වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. අදාළ බෙහෙත් මාත්‍රාවන් නියමාකාරයෙන් නොගත්තොත්, එම දරුවා ගෙදර තිබෙන සෑම භාණ්ඩයක්ම කඩාබිඳ දමනවා. ගෙදර වීදුරු ජනේල පවා එම දරුවා කුඩු කරනවා. පිංවත තමන්ගේම ලෙයින් උපන් දරුවා, තමන්ම හරි හම්බකොටගත් ගෙදර බඩුභාණ්ඩ කුඩු කරනකොට, එම දරුවාගේ වියරු හැසිරීම් දෙමාපියන්ට මොනතරම් නම් පීඩාවක් ද? පිංවත සත්වයා කර්මය දායාද කොටගෙන උපදියි. පිංවත මේ අසරණ දරුවා පසුපස ඇදී එන්නේ අතීත අකුසල් සංස්කාරයක්. පෙර ජීවිතවල කේන්තියෙන්, පළිගැනීමෙන්, පාතාල මනෝභාවයෙන් යහපත්, ශිල්වත් මනුෂ්‍යයින්ගේ නිවාස දේපළ කඩලා, බිඳලා, කුඩු කරලා සංසාරයේ චණ්ඩි මනෝභාවයන් සිදුකොටගත් අකුසල්, මේ ජීවිතයේ දී විපාකයට පැමිණෙත්දි, තමාගේම දේපළ තමාටම කඩා බිඳ දැමීමට දැනීම් සකස් වෙනවා. පිංවත මේ දරුවා නිසා එම දෙමාපියන් විඳිනා කායික, මානසික පීඩාවන් ද හේතුඵල ධර්මයක්මයි. අතීතයේ තමන්ගේ දරුවා අනුනට හිංසාවන්, පීඩාවන් සිදුකරත්දි, දෙමාපියන් ඒවාට අනුබල දීලා තිබෙනවා. මෙවැනි අකුසල් විපාකයන් නිසාම මේ ජීවිතයේ දී තමන්ගේම දරුවා, තමන්ගේම ගෙදර දේපළ කඩාබිඳ දමනවා. පිංවත් දෙමාපියනි, ඔබේ දරුවා මනුෂ්‍ය හිංසනයන්, දේපළ හිංසනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරත්දි, වරද, වරද හැටියට දකින්න දක්ෂ වෙන්න. දරුවන්ගේ වරදට අනුබල දෙන්න එපා. වැරදි සඟවා දරුවා නිවැරදි කරන්න එපා. දරුවන්ගේ හිංසාකාරී ක්‍රියාවන්ට, සමාජ විරෝධී ක්‍රියාවන්ට දෙමාපියන් අනුබල දුන්නොත්, මතු පටිච්චසමුප්පන්න භවයන්හිදී ඔබේම ලෙයින් උපන් ඔබේම ආදරණීය දරුවාට, ඔබේම නිවස සහ දේපළ කඩාබිඳ දැමීමට දැනීම් සකස්වේවි. එදාට එම අසරණ දරුවාට චෝදනා කරලා වැඩක් නැහැ. පිංවත් තම දරුවන්ගෙන් කායික හිංසනයන්ට ලක්වෙන දෙමාපියන් සමාජයේ කොතෙක් නම් සිටිනවා ද? වරක් අම්මා කෙනෙක් තම හිසකෙස් අඩු හිස පෙන්නලා භික්ෂුවට කියනවා, තමන්ගේ දියණිය කේන්ති ගිය වෙලාවට මගේ හිසකෙස් වලින් අල්ලාගෙන මට පහරදීලාම දැන් හිසකෙස් අඩු වෙලාය කියලා. පිංවත මෙවැනි සිද්ධීන් දිනෙන් දිනම සමාජය තුළ වැඩි වෙනවා. ඒත් දෙමාපියන් ලෝකයාට හොරා දරුවන්ගෙන් හිංසනයට ලක්වෙනවා. පිංවත මේවා සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්. අතීත භවයන්හිදී තමන්ගේ දරුවන් සමාජයට හිංසනයන්, අපරාධ සිදුකරත්දී, දෙමාපියන් දරුවන්ගේ වැරදි වලට අනුබල දීලා, වර්තමානයේ තම දරුවන්ගෙන්ම එම දෙමාපියන් හිංසනයට ලක්වෙනවා.

පිංවත සංස්කාර ලෝකය හරිම සාධාරණයි. පිංවත් ඔබ ආශ්වාදයෙන් අකුසල් සිදු කරලා, ආදීනවයන් ඉදිරියේ සතුටෙන් ජීවත්වීමට නම් සිතන්නවත් එපා. පිංවත වර්තමාන සමාජය දෙස හොඳින් බලන්න. මනුෂ්‍ය හිංසනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන තම දරුවන්ගේ නිර්දෝෂීභාවය උදෙසා මුලින්ම පෙනී සිටින්නේ එම වැරදි කරන දරුවන්ගේ දෙමාපියන්. දෙමාපියන්ගේ මේ වැරදි ව්‍යායාමය සමාජයටත්, දරුවන්ටත් මෙලොව සහ පරලොව වශයෙන් බරපතළ අනතුරක්මයි සිද්ධ කරන්නේ. පිංවත් දෙමාපියනි ඔබ ඔබේ දරුවාගේ වරද, වරදක් හැටියටම දැක, දරුවා වරදෙන් මුදවන දිශාවට යොමු වන්න. පිංවත් දෙමාපියන් තම දරුවාට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙන් යුත් මහා බ්‍රහ්මයෙක් වෙනවා මිස, තම දරුවන්ව අපාගත කරන මාර ධර්මයක් නම් වෙන්න එපා. පිංවත රටක රාජ්‍ය නායකයා ධාර්මිෂ්ඨ වෙත්දි, රටේ ජනතාව ධාර්මිෂ්ඨ වෙනවා. රටේ ජනතාව ධාර්මිෂ්ඨ වෙත්දි, පෙරළා රටේ රාජ්‍ය නායක පිංවතා නිවන දිශාවටම නැවී යනවා. දැන් නම් අපේ පිනෙන් උපන් නායකයෝ අකුසලයෙන් ඵල බරව සතර අපාය දිශාවටමයි නැමී තිබෙන්නේ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිත්දි උතුම් ආනාගාමීඵල අවබෝධය සාක්ෂාත් කොටගෙන සිටි වේළුකණ්ඨකී නන්ද මාතාවගේ, නන්ද කියන එකම පුතු වරදක් සිදු කරලා කොසොල් රජතුමාගේ වධකයෝ රාජ නියෝගයෙන් නන්ද දරුවාගේ හිස ගසා මරා දමනවා. තම එකම දරුවා හිස ගසා මරා දමනවා බලා සිටි වේළුකණ්ඨකී නන්ද මාතාව ප්‍රකාශ කරනවා, තමන්ගේ ලෙයින් උපන් එකම දරුවා හිස ගසා මරා දමත්දිත්, පුංචි හෝ අමනාපයක්, විරෝධයක්, තිගැස්මක් තමාට ඇති වුණේ නැහැය කියලා. පිංවත සාධාරණ සංස්කාර ලෝක ධර්මයන් ඉදිරියේ වේළුකණඨකී නන්ද මාතාව නොසැලෙන ධර්මයක් බවටමයි පත්වුණේ. වර්තමානයේ අපි සාධාරණ සංස්කාර ලෝක ධර්මයන් සීමාව ඉක්මවා නොපිළිගැනීම නිසාම, සියලු අකුසල් විපාකයෝ පොලියත් සමගම සමස්ත සමාජයටම විඳින්නට සිද්ධවෙලා තිබෙනවා. පිංවත ඉහත හේතුඵල ධර්මය සමහරක් පිංවත් නීතිඥ මහත්ම, මහත්මීන්ටත් මෙලොව සහ පරලොව සැපය උදෙසා ගොඩාක් වටිනවා. පිංවත අංක එක මුදල් වූ කල්හි, සියල්ලම විපරිත වී සතර අපාය දිශාවටම බර වෙනවා. භික්ෂුවට මේ මොහොතේ මතකයට එනවා, බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්වුණ ප්‍රේතයෙක්ගේ ජීවිතය. එම ප්‍රේතයාගේ වෘෂණ කෝෂ දෙක මහ පොළොවේ ගෑවෙන තරමටම දිගයි. එම ප්‍රේතයා තම දිග වෘෂණ කෝෂ වම් කරට ගනිත්දි, ශරීරයේ වම් පැත්ත, පොළොවට බර වෙනවා. වෘෂණ කෝෂ ශරීරයේ දකුණු කරට ගනිත්දි, දකුණු පැත්ත මහ පොළොවට බර වෙනවා. පිංවත තමාගේම වෘෂණ කෝෂ තමාටම අකුසලයෙන් පහර දෙනවා. පිංවත නීතියේ තරාදියෙන් හොරට කිරීමේ විපාකයනුයි ධර්මානුකූලව අපි මේ ප්‍රේතයා තුළින් දකින්නේ. පිංවත අපේ සමාජයේ සිද්ධවෙන අලුත්, අලුත් විපරිතයන් දකිත්දි, මනුෂ්‍ය අපේ වෘෂණ කෝෂයන් යට ඇඳුම් වලින් වැසී තිබෙන නිසාම හොඳයි. එසේ නොවී වෘෂණ කෝෂයන් බාහිරට විවෘතව තිබුණා නම් සමහරක් පිංවතුන්ගේ වෘෂණ කෝෂයන්ගේ දිග සහ පළල සමාජයට හොඳින්ම බලා ගන්න තිබුණා.

පිංවත තවත් දවසකට හිරු උදාවෙලා. නැවුම් උදෑසන පරිසරයෙන් නැගෙන කුරුල්ලන්ගේ නාදයන්ගෙන් පරිසරයත් ආඩම්බර වෙලා ප්‍රතාපවත් ව බලා සිටිනවා. පිංවත අජීවී පරිසරය තමන්ගේ කම ගැන ආඩම්බර වුණත්, සජීවී මනුෂ්‍ය අපිට, අපේ යැයි ආඩම්බර වෙන්න මුකුත්ම ඉතිරි කරලා නැහැ. කොහේ බැලුවත් ඉතිරි වෙලා තිබෙන්නේ මුදල් මතම යැපෙන අමනුෂ්‍ය ධර්මයෝ පමණක්මයි. පිංවත සංස්කාර හේතුවෙන් ලෝකය නැවත, නැවත කණපිට පෙරළෙනවා. මනුෂ්‍ය ජීවිතයේ දී ශිල්පද බිඳගෙන වැඩි මුදලට සිංදු කියන පිංවත් මනුෂ්‍යයෝ, මරණින් පසුව කුරුල්ලො වෙලා නොමිලේම සිංදු කියනවා. ශිල්පද දුර්වල කොටගෙන වැඩි මුදල් වලට නටන ඇත්තෝ මරණින් පසු මොනරු වෙලා නොමිලේම අපිට නැටුම් පෙන්වනවා. පිංවත ඔබේ වෘත්තිය දක්ෂභාවය යැයි කියන්නේ, කුසල් සංස්කාරයක්. පිංවත ජනප්‍රියභාවයන්ට අයත් සංස්කාරයෝ අසාධාරණ විදියට මිල කරන්න හොඳ නැහැ. ජනප්‍රියභාවයට අයත් සංස්කාරයෝ පංචශීලයේ ආරක්ෂාවෙන්, මධ්‍යස්ථ මිලටයි ඔබ මිල කරන්න ඕනේ. එවිටයි පිංවත් ඔබ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී, දිව්‍ය සංගීතයෙන්, දිව්‍ය නර්තනයෙන් පිදුම් ලබන සශ්‍රීක දෙවියන් අතරට යන්නේ.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment