පියා කැපූ පුවක් ගස හිස මතට කඩා වැටී රෝහල් ගතවූ දරුවා මියගිහින්

479

තම පියා විසින් කැපූ පුවක් ගසක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ඌව පළාත් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එක් අවුරුදු හත් මස් වයසැති දරුවකු ඉකුත් 11 දා අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.

හිස් කබල පුපුරා සිටි දරුවා බේරා ගැනීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දැරුවත් සියලු උත්සාහයන් සඵල නොවූ බව හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය.

මරණයට පත් වූයේ මැදගම, බකිනිගහවෙල, උඩගංගොඩ, කිත්සිරි නිවසේ වාසය කළ කේ. එම්. දුමිදු ප්‍රියංකර නමැති දරුවෙකි.

හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩී. එම්. ලීලාරත්න මහතා මැදගම පොලිසියේ පො. සැ. (17507) චන්ද්‍රපාල මහතාගේ සාක්ෂි මෙහෙයවීම යටතේ පැවැත්වූ හදිසි මරණ පරීක්ෂණයේ දී මව එච්. එම්. චන්දිමා ලක්මාලි (21) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ කීය.

ස්වාමි පුරුෂයා වත්තේ වැටේ තිබුණු අඩි 50 ක් පමණ උස පුවක් ගසක් කපමින් සිටිය දී මම වත්තේ කව්පි කඩමින් සිටියා. පාරට වැටෙන්න කැපූ ඒ ගස අහම්බෙන් එවේලේ හැමු සුළඟට පැද්දී ඇවිත් මා ළග සිටි පුතාගේ ඇඟ මතට වැටුණා. හිස තුවාල වූ පුතා මැදගම රෝහලයට ගෙන ගියාම මොනරාගල සිරිගල රෝහලට පිටත් කළා. පුතා අසාධ්‍ය තත්වයෙන් සිටි නිසා වහාම බදුල්ල මහ රෝහලට එව්වා. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දී මිය ඔහු ගියා.

පියා වන කේ.එම්.එරංග ප්‍රියංකර මහතා ( 28) ද සාක්ෂි දෙන ලදී.

බදුල්ල ඌව පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. කේ. බී. විජේතුංග මහතාගේ පශ්චාත් මරණ වාර්තාව ද සැලැකිල්ලට ගෙන හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවූ බවට මරණ පරීක්ෂකවරයා තීරණය කර තිබේ.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment