ඩුබායි පනින්නත් හදලා

අපරාධ රැසකට සම්බන්ධයි

දශක තුනක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන්වීමත් සමග රටම සාමකාමී විය. නොවිඳිනා දුක් ගැහැට විඳිමින් උතුරුකරයේ ජනතාව සැනසුම් සුසුම් හෙළුෑහ. යළිත් සුපුරුදු ජීවන රටාවට ඔවුහු හුරු වූහ. වසර ගණනක් එලෙස ද ගතවිය. එහෙත් 2014 වසර උදාවූයේ යාපනය ජනතාවගේ නිදහස යළි නැති කරමිනි. ඒ ආවා නමැති අපරාධ කල්ලියක් නිසාවෙනි. කුරිරු කොටි ත්‍රස්තවාදීන්ට වඩා මෙම කල්ලියේ සාමාජිකයන් දරුණු විය. එම නිසා සමහර ජනතාවට ගෙවල් දොරවල් පවා හැරදමා ගියේ තම ජීවිත බේරා ගැනීමටයි.

කනකරත්නම් විනෝදන්, කැනී සහ සන්තා යාපනය ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකි. හරි හමන් අධ්‍යාපනයක් නොලද මොවුන් පාසල් වියේ සිට දඩබ්බරයන් විය. ඒ සමගම මහ මග කපා කොටා ගන්නා කසිකබල් දකුණු ඉන්දීය චිත්‍රපට නැරඹීමට මොවුන් පුරුදු වී සිටියේය. සමහර දිනවල එක දිගට එවැනි චිත්‍රපට පහ හයක් පමණ ඔවුන් බැලුවේය. එලෙස චිත්‍රපට බැලීම නිසා මෙම තරුණයින්ගේ මනස විකෘති වී තිබුණි. එනිසා ඔවුනට වුවමනා වූයේ එම චිත්‍රපටවල සමහර චරිත සේ සැබෑ ජීවිතය ගත කිරීමයි. නිතරම ඔවුහු ඒ පිළිබඳව කතා බස් කළහ.

දිනක් මෙම තරුණයින් මෙලෙස කතා බස් කළහ. ‘මචං අපි දැන් මෙහෙම හිටියා ඇති.’

ඔව් ඒකනම් ඇත්ත. අපි අර ඊයේ බැලුව ෆිල්ම් එක තියෙන්නේ. කොහොමද ඒකේ කොල්ලා අන්න නියම චණ්ඩි. ගමේ උන් විතරක් නොවෙයි. අල්ලපු ගමේ උණුත් ඌට පරදියි.

ඒකනම් ඇත්ත. අනිත් ඉන්න එකා එහෙමයි. අපේ නම කියන ගමන් රටම හොල්ලන විදිහට”

“ඒක තමයි අපි තුන්දෙනා එකතුවෙලා කල්ලියක් හදමු. මම ඒක ලීඩ් කරන්නම්. කනගරත්නම් විනෝදන් එලෙස පැවසුවේය. අන් දෙදෙනා ද එක පයින්ම එයට කැමැති විය. ඒ අනුව මෙම තිදෙනා එකතුවී තවත් පිරිසක් සමග කල්ලියක් බිහි කර ගත්තේය.

පටන් ගත් මුල් සති කිහිපය තුළ මෙම කල්ලිය එතරම් ප්‍රබල නොවීය. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ නිවෙස්වලට පැන සොරකම් කිරීම, මහමඟ යන පුද්ගලයින්ට පහරදී මුදල් කොල්ලකෑම ආදියයි. එලෙස ලබා ගන්නා මුදල් ඔවුන් වැඩි වශයෙන් වියදම් කළේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයටයි. යාපනය මනිප්පායි සහ කෝපායි කේන්ද්‍රකොටගෙන මෙම කල්ලිය එලෙස අපරාධ සිදු කළහ. එන්න එන්නම ඔවුන්ගේ අපරාධ වැඩිවිය. එම නිසා ප්‍රදේශයේ ජනතාවට එය මහත් කරදරයක් විය. ඔවුහු මෙම කල්ලිය පිළිබඳව පොලිසියට පැමිණිලි කළහ.

පැමිණිලි වැඩිවීමත් සමඟම එම කල්ලිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය. එහෙත් එහි නායකයා වූ කනගරත්නම් විනෝදන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය. විනෝදන් පොලිසියට කට්ටි පනිමින් සිටි නිසා පොලිස් නිලධාරීහු ‘හාවා’ යන නමින් ඔහුව හැඳින්වූහ. ඉන්පසු මෙම කල්ලිය හැඳින්වූයේ ‘හාවා කල්ලිය’ ලෙසින්ය. අත්අඩංගුවට පත්වූවන් පොලිස් ඇප මත යළි නිදහස් විය.

‘හාවා කල්ලිය’ ලෙස ප්‍රසිද්ධියට පත්වූ පසු මොවුන් දරුණු ගණයේ අපරාධ කිරීමට පටන් ගත්තේය. කප්පම් ගැනීම්, කොන්ත්‍රාත් මත අපරාධ සිදුකිරීමත් මොවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග විය. කඩු, කිණිසි, මන්නා වලින් සන්නද්ධ වූ මෙම කල්ලිය යතුරුපැදිවලින් ගොස් මෙම අපරාධ සිදු කළහ. ඉතා අමානුෂික ලෙස මිනිසුන් කපා කොටා දැමූ මෙම කල්ලිය එකල පොලිසියටත් මෙල්ල කිරීමට නොහැකි විය.

ගල්කිස්සට ආව ආවා ලොක්කා පොලිසියට මාට්ටු

මෙම කල්ලිය ‘ආවා කල්ලිය’ ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ 2015 වසරේදීය. ඒ යාපනය සරසවි සිසුන් දෙදෙනකුගේ දෑත් වෙන්වෙන සේ කපා දැමීම නිසාය. රටම එම සිද්ධියෙන් පසු ‘ආවා’ කල්ලිය පිළිබඳව රටම දැන ගත්තේය. ඉන්පසු ඔවුහු එළිපිටම අපරාධ කිරීමට පටන් ගත්හ. මාස කිහිපයක් ඇතුළත එම කල්ලිය විසින් අපරාධ පනහකට අධික ප්‍රමාණයක් සිදුකර තිබුණි. සමහර ජනතාව තම උපන්ගම පවා අතහැර ගයේ එම කල්ලියට තිබූ බිය නිසාය. සමහර පුද්ගලයින් මහ මග තනිව ගමන් කිරීමට පවා බිය විය. ඒ තරම් ‘ආවා’ කල්ලිය ප්‍රබල විය.

තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරුණි ‘ආවා’ කල්ලියේ සාමාජිකයින්ද වැඩි විය. සිදු කරන අපරාධ වැඩි විය. යාපනය, කෝපායි සහ මනිප්පායි පොලිසිවල නිලධාරීහු මෙම කල්ලිය මර්දනය කිරීමට පියවර ගත්හ. සාමාජිකයින් එකා දෙන්නා අත්අඩංගුවට ගත්හ. එහෙත් එහි නායකයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි විය. එවක යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස්ගේ මෙහෙයවීම මත ‘ආවා’ කල්ලිය මැඬලීමේ මෙහෙයුම් කිහිපයක්ම දියත් කෙරුණි.

‘ආවා’ කල්ලි නායක විනෝදන් කාන්තා ඇසුරට ප්‍රිය කළ පුද්ගලයෙකි. ඔහු කැමැති තරුණියක් සිටී නම් හොඳින් හෝ නරකින් ඇය සමඟ යහන් ගතවීමට මොහු දෙපාරක් නොසිතති. පොලිසියද මේ පිළිබඳව දැන සිටියේය. ඒ අනුව පොලිස් කාන්තාවක් යොදවා විනෝදන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ඔහුව අත්අඩංගුවට ගැනීමට සැළසුම් කළේය. සති කිහිපයක් ගතවිය. එම සැළසුම සාර්ථක විය. අවසානයේ කෝපායි පොලිසියට ‘ආවා’ කල්ලි නායකයා වූ විනෝදන්ව අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

විනෝදන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ‘ආවා’ කල්ලියේ සෙසු සාමාජිකයින්ද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවිය. එලෙස අත්අඩංගුවට ගත් පිරිස් අතර පාසල් සිසුන්ද සිටියේය. එම පාසල් සිසුන් පවා මිනිසුන් කපා කොටා දරුණු ගණයේ අපරාධ සිදුකර තිබුණි.

කල්ලි නායකයා සහ සාමාජිකයින් අත්අඩංගුවට පත්වූ පසු ‘ආවා’ කල්ලිය දෙකඩ විය. විටින් විට එහි නායකයින් වෙනස් විය. කලක් යද්දී ‘ආවා’ කල්ලිය ඇතුළත දරුණු ගණයේ ගැටුම් පවා ඇතිවිය.

වසර ගණනක් ‘ආවා’ කල්ලිය නිහඬව සිටියේය. යළිත් ඔවුන් ගැන කතා කිරීමට පටන් ගත්තේ පසුගිය සඳුදා ‘ආවා’ කල්ලියේ අලුත් නායකයා අත්අඩංගුවට ගැනීමත් සමගයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහට පසුගියදා තොරතුරක් ලැබුණේ ‘ආවා’ කල්ලියේ සාමාජිකයන් පිරිසක් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවයි. ලද තොරතුරකට අනුව එම පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ. එහිදී දැන ගන්නට ලැබුණේ එම නිවසේ සති කිහිපයක සිට තරුණයන් කිහිප දෙනකු රැඳී සිටින බවත් ඔවුන් වැඩි කතා බහක් නොකරන බවත්ය. ඒ අනුව පසුගිය 04 වැනිදා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීහු එම නිවස පැටලූහ. එලෙස වටලන අවස්ථාවේ එහි රැඳී සිට ඇත්තේ එක් තරුණයකු පමණි. ඔහු පොලිස් නිලධාරීන් දැක බියට පත්වූ අතර යම් දෙයක් විසි කිරීමට උත්සාහ කර තිබිණි. එහෙත් පොලිස් නිලධාරීන් ඉදිරියේ ඔහුට එය සිදු කිරීමට නොහැකි විය. පසුව එම සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔහු විසි කිරීමට උත්සාහ කර ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය පාර්සලයකි.

පොලිස් අත්අඩංගුවට පත් මෙම සැකකරුට සිංහල භාෂාව කතා කිරීමට නොහැකි වූ නිසා දෙමළ පොලිස් නිලධාරියකු යොදවා ප්‍රශ්න කර තිබිණි. එහිදී අනාවරණය වූයේ මොහු වත්මන් ‘ආවා’ කල්ලියේ නායකයා බවයි. වයස අවුරුදු විසිපහක් වන මෙම සැකකරු යාපනය නීලියම් කරනයි පිල්ලයාර් පාර පදිංචි පුද්ගලයෙකි. ප්‍රභාකරන් කෞෂිකන් හෙවත් ප්‍රභා යන නමින්ද මොහුව හඳුන්වයි. ආවා කල්ලිය තුළ කොයින්ෂි තම්සා ලෙස මොහුව හඳුන්වයි.

සැකකරු ගල්කිස්සේ මෙම නිවසේ පදිංචියට පැමිණ ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදීය. මෙම සැකකරු සමග තවත් දෙදෙනකු එහි පදිංචිව සිට තිබේ. මෙම නිවස කුලියට ගෙන ඇත්තේ තමන් සරසවි සිසුන් ලෙස හඳුන්වමින්ය.

සැකකරු මෙම නිවස ආරක්‍ෂිත ස්ථානයක් ලෙස භාවිතා කර තිබිණි. අපරාධ සිදුකර නැවත මෙම ස්ථානයට පැමිණ ඔහු ආරක්‍ෂාකාරී ලෙස සැඟවී සිට ඇත. තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මෙම සැකකරු ඩුබායි රාජ්‍ය බලා පැන යෑමට ද සැලසුම් කර තිබිණි. මෙම සැකකරු යාපනය ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසකට ඍජුව සම්බන්ධ සහ අනුබල දුන් අයෙකි. මෙම ලිපිය ලියන මොහොතේදී පවා පොලිස් නිලධාරීහු එම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න සිදුකරමින් සිටියහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment