ග්‍රහ ලොව සෙන්පති කුජගේ විශ්ව බලය ජන අරගලයට පණදී තිබේ!

193

ග්‍රහ ලොව සෙන්පති කුජ ජුනි 27 වැනි දින ඔහුට අයත් මේෂ රාශි ගතවී සිටී. ලංකා කේන්ද්‍රයේ 03 වන භාවය නිසා වික්‍රමාන්විත ජවයක් ලබාදෙයි. සියලු මුරකාවල් බිඳගෙන රාජ්‍ය නායකයාගේ සියලු ස්ථාන යටත් කර ගනිමින් ලක්ෂ සංඛ්‍යාත පොදුජනයා ජුලි 09 දින ඓතිහාසික ජනතා ජයග්‍රහණයක් සමස්ත ලෝකයටම පෙන්නුවේය.

 මෙය සිදුවූයේ ශ්‍රී ලංකාව තුළ වාර්තා වන දේශපාලනයෙන් බිහිවූ කාලවිපත්ති සමය තුළය. අතිමහත් දුක් දරන්නට සිදුවූ මහජනයා එකාමෙන් ඒකරාශිවී මේ දුර්දාන්ත පාලනය පෙරලා දැමුවේ එදා රුසියාව පාලනය කළ ඒකාධිපති සරේගේ බලය සියලු ජනතාව ලෙනින් මූලිකව කළ අරලය ජයගත්තා සේය.

 දැන් රටේ ජනාධිපතිතුමා ජුනි 13 වන දින ඉල්ලා අස්වීමත්,අගමැති ඉල්ලා අස්වීමෙනුත් පසු කථානායකවරයා සුළු කාලයකට ජනාධිපති වනු ඇත. ඉන්පසු අගමැති තේරීමේ කටයුත්ත උදා වේ. මෙහිදී සාමාන්‍ය දේශපාලන ක්‍රියාකාරිත්වයට ඉඩකඩ නැතිවිය හැක.

 එසේ වන්නේ ‘සිස්ටම් චේන්ජ්’ එක ඉස්මතු කරගත් ජන අරගලයට එය ප්‍රතිවිරුද්ධ දෙයක් වන බැවිනි. මේ නිසා දේශපාලන පක්ෂ විසින් ගන්නා තීරණ එනම් අගමැති බවට පත්කරන පුද්ගලයා පත්කිරීමට අරගලයේ නියමුවන්ගේ අණසකට යටත්ව කළ යුත්තක් බවට පත් වේ. මේ නිසා යම් ආකාර ගැටලු සහගත තත්ත්වයක් මතුවනු ඇත. එක්කෝ අරගලයේ නියමුවන් පවසන පක්ෂ නායකයෙකුට අග්‍රාමාත්‍ය ධුරය හිමිවීමේ ඉඩකඩ තිබේ. අරගලය ඇතිවන්නේ දශක ගණනාවක් මේ රට පාලනය කළ දේශපාලකයෝ රටත් ජනතාවත් විනාශ මුඛයට ගෙන ගිය බව පවසමිනි. එසේම ජූලි 09 දා ජනතා සටන ජයගත්තේ සම්ප්‍රදායක දේශපාලකයන්ට තනතුරු හුවමාරු කර ගැනීමට නොවන බව අරගලයේ නියමුවන් ප්‍රකාශ කර තිබේ.

 එනිසා කුම්භ රාශියෙන් 03 වැන්න වූ මේෂ රාශියට කුජගේ පැමිණීම අගෝස්තු 10 දක්වා පවතී. මේ කාලය තුළ අරගලයේ නියමුවන් දේශපාලනයේ කරලියට ගෙන එන නව යෝජනාවලට සම්ප්‍රදායක දේශපාලඥයන්ට ඇහුම්කන් දෙන්නටත් ඒ අනුව ක්‍රියාකරන්නටත් සිදුවන බව පෙනේ.

 රට තුළ ඇති කාලවිපත්තිය දුරුකර ගන්නට කවුරු අගමැති වුවත් ඔක්තෝබර් දක්වා කාලය ගතවනු ඇත. කෙසේ නමුත් දැන් පත්වන සර්වපාක්ෂික රජයට බලවත් එනම් ලෝකයේ ප්‍රබල රාජ්‍යයන්ගෙන් ඉක්මන් ආධාර ගත හැකි අගමැතිවරයෙක් බිහිවිය යුතුය. මෙහිදී ඇමරිකන් ගැති අගමැතිවරයෙක් නොව රුසියාව වැනි රටකට මිත්‍ර අගමැතිවරයෙක් බිහිවීම ඉතාමත් ශ්‍රේෂ්ඨ වනු ඇත.

 මහා මැතිවරණයකට පෙර සර්වපාක්ෂික ආණ්ඩුවකට මේ රටේ තෙල් හිඟය, ගෑස් හිඟය, පොහොර හිඟය, අත්‍යවශ්‍ය ආහාර හිඟය දුරුකොට පෝලිම් යුගය මාස කීපයක සර්ව පාක්ෂික ආණ්ඩුව විසින් දුරුකළ යුතුය. නැතිනම් තවත් ජනතා අරගල මතුවනු ඇත.

ග්‍රහ ලොව සෙන්පති කුජගේ විශ්ව බලය ජන අරගලයට පණදී තිබේ!

ජ්‍යොතිෂවේදී
 අගලවත්තේ බී. හේරත්
 මහජන ක්‍රීඩාංගණය අසල
 අගලවත්ත
 දු.අංකය – 0772 154 253

advertistmentadvertistment
advertistmentadvertistment