ගාථා පැටලුණැයි හා වැරදුණයි කියා හිමිවරු තිදෙනකුගේ දස වධවලට ලක්වුණු සාමනේර හිමි යළිත් රෝගාතුර වෙයි

750

මීට පෙරත් දින 15ක් රෝහල්ගතව ඉඳලා
මෙම 12 වැනිදා අධිකරණයට කියනවා – පොලිසිය

ගම්පොල පාර දෙක ප්‍රදේශයේ විහාරස්ථානයකදී අට හැවිරිදි සාමණේර හිමිනමකට තවත් හිමිවරු තිදෙනකු විසින් දින කීපයක් පහර දී දස වධ දීම නිසා උන්වහන්සේ දින පහළොවක් පුරා ගම්පොල හා පේරාදෙණිය රෝහල්වල ප්‍රතිකාර ලබා නිවසට පැමිණ දින තුනකදී යළිත් රෝගී වීම නිසා නැවතත් පෙරේදා (7දා) සවස පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් කුඩා හිමියන් හා උන්වහන්සේගේ පියා වන අමරසිරි දිසානායක යන අය පුස්සැල්ලාව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

මේ හිමියන් පවසන පරිදි උන්වහන්සේට කොසු මිටවල් කැඩෙනතුරු පහර දී මුත්‍රා පොවා මුහුණට පහරදී දතක් හා නහය කඩා තොල් හා මුඛය තුවාල කර තිබේ.

එසේම කවකටුවකින් තට්ටම් ප්‍රදේශයට ඇන ඇති අතර හිස මුදුනේ ද තුවාල ඇත.

උන්වහන්සේගේ තට්ටම්වල විශාල තුවාලයක් තිබෙන අතර අතක්ද ඉදිමී තිබේ. පැවිදි වී දින 45ක් වූ උන්වහන්සේට අනෙක් හිමිවරු බුද්ධ පූජාව තබන ලෙස පවසා ඇතත් අවුරුදු අටක් වූ හිමියන්ට ගාථා පැටලීම හා වැරැදීම මෙම පහර දීමේ ආරම්භය බවත් උන්වහන්සේ පවසති.

බෝතලයකට මුත්‍රා කර ඒවා පොවන බවත්, බිමට දෙහි මිරිකා ඒවා දිවෙන් ලෙව කෑමට දෙන බවත් ඉන්පසු පහර දෙන බවත් හිමියෝ පවසති.

මෙසේ පහරකෑම්වලින් පසුව ගම්පොල රෝහලටත් ඉන් පසුව පේරාදෙණිය රෝහලටත් උන්වහන්සේ ඇතුළත් කර ප්‍රතිකාර ලැබූහ.

පේරාදෙණිය රෝහලේ දී උන්වහන්සේ වෛද්‍ය පීඨයට හා මනෝවෛද්‍ය ඒකක වෙතද යොමුකර තිබුණි.

මෙම ප්‍රතිකාරවලින් පසු පියා විසින් උන්වහන්සේ රෝහලෙන් ගම්පොල අටබාගේ සෝගමා ජනපදය සිය නිවස වෙත කැඳවා ගොස් තිබූ අතර දින තුනකට පසු උන්වහන්සේ යළි රෝගී වූ බව එම පියා පවසයි.

පහර දීම නිසා යටි බඩේ කැක්කුම ඇතුළු රෝග මතුවීම නිසා යළි මෙසේ රෝහල්ගත කළ බව ඔහු සඳහන් කරයි.

පහරදීම පිළිබඳව හෙළි වී දින 20 ක් පසු වුවද පොලිස් පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බව හිමියන්ගේ ඥාතීහු පවසති. ඒ පිළිබඳව පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික හේමකුමාර මහතාගෙන් විමසීමේ දී මෙසේ පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කරලා තිබෙනවා. කුඩා හිමියන්ට පහර දුන්නා යැයි කියන හිමිවරුන්ගේ වයස අවුරුදු 10, 12, 14 වල පසුවන හිමිවරුන්.පවතින නීතිය අනුව බාල වයස්කරුවන් අපට අත්අඩංගුවට ගන්න බැහැ. දැනට කර ඇති පරීක්ෂණ අනුව පන්සලේ ලොකු හාමුදුරුවන් මෙයට සම්බන්ධ බව අනාවරණය වෙලා නැහැ. නමුත් අපි ඒ ගැන තවදුරටත් පරීක්ෂා කරනවා. කෙසේ වෙතත් මෙම මස 12 දින මෙහි වැඩිදුර කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment