ගාලුමුවදොර අරගලයට දින 100 යි: ජනගඟක් – සැමරුම් රැසක්

117

වත්මන් රජයට හා ආණ්ඩුවේ දූෂිත හා අකාර්යක්‍ෂම පාලනයට එරෙහිව සිවිල් ජන කණ්ඩායම් එකට එක්වී 2022 අප්‍රේල් 09 වැනිදා ආරම්භ කළ ගාලුමුවදොර අරගලයට දින 100 ක් සපිරුණු ඊයේ (17 දා) දිනයේ සැමරුම් උත්සව කීපයක් සංවිධානය කර තිබිණි.

ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර අරගලයේදී දිවිදුන් පුද්ගලයන් සැමරීමක්ද ගාලුමුවදොරදී පැවැත්විණි.

“නිර්පාක්‍ෂික ජන අරගලය” ලෙසින් නම්කර තිබූ මෙම අරගලය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඇතුළු එවකට පැවැති කැබිනට් මණ්ඩලයට විරුද්ධව ජනතාව වීථි බසිමින් ආරම්භ කෙරිණි.

එහිදී ආණ්ඩුවේ නියෝජිතයන්ට පමණක් නොව විපක්‍ෂයේ නියෝජිතයන් ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ටම ඉල්ලා අස්වන ලෙස බලකරමින් දැඩි ජනතා විරෝධයක්ද එල්ල විය.

බලශක්ති අර්බුදය මෙන්ම විදුලි කප්පාදුව, ගෑස්, ඉන්ධන නොමැතිවීම, ඒවා මිලදී ගැනීමට කිසිදා නොවූ විරූ අයුරින් පෝලිම් නිර්මාණය වීම, ගෑස් ඉන්ධන පෝලිම්වල ජනතාව මියයෑම, පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය බිඳවැටීම ඇතුළු තවත් ගැටලු රාශියක් මෙම ජන අරගලය ආරම්භවීමට හේතු විය.

ගාලුමුවදොර මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේදී විරෝධතාකරුවෝ තවදුරටත් රැඳී සිටිති.

අරලියගහ මන්දිරයෙන් ඉවත්වූ අරගලකරුවෝ එය ඉදිරිපිට පිහිටුවා ගත් නෝඩීල් ගමේ ඊයේ වනවිටත් මාරාන්තික උපවාසයක නිරතව සිටියහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment