ප‍්‍රහාරය එල්ල කළේ ආරක්‍ෂක ආයතනයක මැර පිරිසක්

1032

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ඉලක්ක කර එල්ල කළ බිත්තර ප‍්‍රහාරය දේශපාලන වුවමනාව මත ප‍්‍රකට ආරක්ෂක ආයතනයක මැර පිරිසක් විසින් එල්ල කළ පහත්, නින්දිත සහ තිරිසන් ප‍්‍රහාරයක් බව එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඊයේ (31 වැනිදා) පැවසීය.

ප‍්‍රහාරය එල්ල කළේ ආරක්‍ෂක ආයතනයක මැර පිරිසක්

නිට්ටඹුව කලගෙඩිහේන ප‍්‍රදේශයේ පෙරේදා (30 වැනිදා) සිදු වූ ප‍්‍රහාරයත් ඊට පෙර (19දා) පිටකොටුව උද්ඝෝෂණයේදී සිදු වූ ප‍්‍රහාරයත් එකී සමාගම නියෝජනය කරමින් එකම පිරිසක් සිදු කර ඇතැයි විජිත හේරත් මහතා චෝදනා කළේය. මෙම ප‍්‍රහාර පිළිබඳව රජය වහා විධිමත් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව පැවසූ විජිත හේරත් මහතා ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්ව කටයුතු කළ යුතු බවද කීවේය.

ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ හෝ ජවිපෙ ක‍්‍රියාකාරිකයකුගේ ජීවිතයට හානියක් සිදු වුවහොත් ඊට ප‍්‍රකට ආරක්ෂක සමාගම වගකිව යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජනබලවේගය වටා දිනෙන් දින එක් රොක් වන ජනතාව දැක එය දරාගත නොහැකිව සිදු කෙරෙන ප‍්‍රහාරවලින් ආණ්ඩුවට එහි ගමන කිසිසේත්ම නතර කළ නොහැකි බව කී විජිත හේරත් මහතා, ආණ්ඩුව ජවිපෙ සමග හැප්පිය යුත්තේ එවැනි නින්දිත ක‍්‍රියාකාරකම්වලින් නොව ජවිපෙ දේශපාලන ප‍්‍රතිපත්ති සමග බවද කීය.

විජිත හේරත් මහතා ඊයේ එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment