වාර්තා වන පිරිසට වඩා ආසාදිතයන් වැඩියි – රවී කුමුදේශ්

168

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෛනිකව නිකුත් කරනු ලබන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා හතළිස් ගුණයකින් පමණ වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් සමාජය තුළ සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවැසීය.

ඒ අනුව අමාත්‍යාංශය විසින් දෛනිකව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1000 ක් ලෙස දැක්වුවහොත් සමාජය තුළ සිටින සැබෑ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40,000කට වඩා වැඩි විය හැකි බව ඔහු කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවිධිමත් දත්තවලින් වසංගතය ගැන වැරදි මතයක් ජනගත කරන බව පෙන්වා දෙන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කොරෝනා පරීක්ෂණ සඳහා ලබා දෙන අඩු සැලකිල්ල සහ වසංගතය පිළිබඳව විද්‍යාත්මක පුරෝකථනයන් සිදු කිරීමට දක්වන අකැමැත්ත හේතුවෙන් රට තුළ කොරෝනා වසංගතය පිළිබඳව වැරදි මතයක් සහ තක්සේරුවක් සමාජගත වීම වැළැක්විය නොහැකි බව පවසීය.

වර්තමානයේ රටේ පවතින පරීක්ෂණ සිදු කිරීමේ දුෂ්කරතාව හේතුවෙන් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හොඳින්ම දන්නා ආසාදිතයන්ගෙන් හරි අඩකටත් වඩා වැඩි ප‍්‍රමාණයකට එම පරීක්ෂණයක් සිදු කරගැනීමේ අවස්ථාව හිමි නොවේ. එමෙන්ම රෝහල්වල සහ ක්ෂේත‍්‍රයේ පරීක්ෂණවලින් හරි අඩකට වඩා වැඩි ප‍්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට දත්ත විදිහට එකතු කර ගැනීමේ හැකියාවක් නොපවතී. ඒ අයුරින් පරීක්ෂණ සිදු කර වාර්තා කරන ආසාදිතයන්ගේ සංඛ්‍යාව පවා මාධ්‍යයට නිවැරදිව වාර්තා නොවේ.

සැබෑ තත්ත්වය අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කරන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙන් 40 ගුණයකටත් වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් රට තුළ සිටින බවට අපට උපකල්පනය කළ හැකිය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment